අයහපත් කාලගුණ තත්වයන් තුල ආපදා කළමනාකරණ මෙහෙයුම් සඳහා
යුද හමුදාවේ සහාය

නොවැම්බර් 20, 2023

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් රට තුළ පවතින අයහපත් කාලගුණික තත්වයන් තුළ ගංවතුරින් විපතට පත් ප්‍රජාවට නිරන්තරයෙන් සිය උපකාර සිදුකරමින් සිටින අතර, ජනතාවට පහසුකම් සැපයීම සඳහා ඔවුන් ආපදා කළමනාකරණ යාන්ත්‍රණයට මහඟු පිටුවහලක් වේ.

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 68 වන පාබල සේනාංකය යටතේ ඇති 593 පාබල බලසේනාවේ 3(ස්වේ) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළකාය විසින් ගංවතුරෙන් විපතට පත් පුදිකුඩිඉරුප්පු සහ අනන්තපුරම් ප්‍රදේශවල පවුල් වෙත පසුගිය නොවැම්බර් 17 දින මානුෂීය ආධාර ලබාදීම සිදුකරන ලදි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධීකරණය කරමින් ගංවතුර මට්ටම අවම කිරීම සඳහා අනන්තපුරම් ඇළ එළිපෙහෙළි කිරීම, ආපදාවට පත්වූවන්ට සහන සැලසීම, ආපදා සහිත ස්ථානවලින් ප්‍රජාව ඉවත් කිරීම සහ නැවත ස්ථානගත කිරීම වැනි කටයුතුවල දී හමුදා භට පිරිස් සහභාගී වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර, මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට කඩාවැටී අවහිර වී තිබූ දැවැන්ත පස් කන්දක් සහ විශාල ගල් ඉවත් කිරීම සහ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්කිරීමට එදිනම සහය විය.

තවද, මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 4 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නොවැම්බර් 18 වන දින පැවති අයහපත් කාලගුණික තත්වයත් සමඟ ලග්ගල - මොරගහකන්ද ප්‍රධාන මාර්ගයේ 40 කණුව ප්‍රදේශයේදි රථවාහන ගමනාගමනයට අවහිර ඇති කරමින් වැටි තිබූ විශාල ගසක් ද ඉවත් කරන ලදි.