අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් නායයෑම් හා ගංවතුර තර්ජන

නොවැම්බර් 20, 2023

කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියට අනුව අද (නොවැ. 20) දිවයිනේ බොහෝ පළාත් වල සවස 01.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක. උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැක.

කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, ගලිගමුව සහ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ 3 වන මට්ටමේ රතු නිවේදනයක් නිකුත් කර ඇත.
 
බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, රත්නපුර, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ද 2 මට්ටමේ සහ 1 මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මේ අතර දැදුරුඔය ද්‍රෝණිය අවට ප්‍රදේශවලට නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. දැදුරු ඔයේ සහ මහඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත් බිම්වලට සුළු ගංවතුර තර්ජනයක් එල්ල වී තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව, ඉහළ ගංඟා ජල පෝෂක ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර තත්පරට ජලය ඝන අඩි 22,400 ක වේගයකින් බැහැර කරනු ලැබේ. වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහළ ප්‍රදේශවල ගංඟාවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගංවතුර ඇතිවිය හැක.

ගත වූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය කුරුණෑගල දුම්මලසූරිය ප්‍රදේශයෙන් මිලිමීටර් 146.44ක් ලෙස සටහන් විය.