ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට කඩිනම් පියවර

නොවැම්බර් 24, 2023

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර සේවාවන් විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය දින එම රෝහලේදි පැවැත්විණි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්‍ෂක ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ හිඟය ප්‍රමුඛ මානව සම්පත් වල හිඟතාවය පිළිබඳවත් අනෙකුත් අත්‍යවශ්‍ය කාරණා පිළිබඳවත් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය විය.

පවතින සම්පත් ඵලදායිව යොදා ගනිමින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමේ අවශ්‍යතාවය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පෙන්වා දෙන ලද අතර රෝහලට අවශ්‍ය වන මානව සම්පත කඩිනමින් ලබාදීමටත්, ඒ සඳහා ගතයුතු කෙටිකාලීන පියවර මෙන්ම දීර්ඝකාලීන පියවර පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළ අතර සිදු කළ යුතු ඉදිරි ක්‍රමවේදයන් පිළිබඳව ද නිළධාරින්ට උපදෙස් දෙන ලදී.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල අතර අන්න්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට ද මෙහිදි තීරණය වූ අතර රජයේ රෝහල් වල පොරොත්තු ලේඛන වල සිටින රෝගීන් හට අවශ්‍ය ශල්‍යකර්ම, වෛද්‍ය පරීක්ෂණ හා අත්‍යවශ්‍ය රෝගී සත්කාර සේවා මෙම රෝහලෙන් සිදුකිරීම පිළිබඳව ද මෙහිදි සාකච්ඡාවට භාජනය විය.

රෝහල සඳහා අවශ්‍ය වන කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට ඒ සඳහා කටයුතු කරන අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කර අවශ්‍ය අනුමැතියන් ලබාගන්නා ලෙසට ද අමාත්‍යවරයා මෙහිදි නිළධාරීන්ට උපදෙස් දෙන ලදී.

අති නවීන වෛද්‍ය පහසුකම් වලින් සමන්විත ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල රෝහල සඳහා අවශ්‍ය මානව සම්පත හා අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් කඩිනමින් ලබා දී ප්‍රදේශයේ මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට උසස් තත්වයෙන් යුත් රෝගි ප්‍රතිකාර සේවාවක් ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු කඩිනමින් සම්පාදනය කරන බවටත්, එවිට විශ්ව විද්‍යාලයේ සායනික හා අධ්‍යයන කටයුතු වල නිරත වන සිසුන්ගේ ඉගෙනුම් කටයුතු වලටද එය මහත් රුකුලක් වන බවද අමාත්‍යවරයා අවසාන වශයෙන් අවධාරණය කර සිටියේය.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල රෝහල 2017 වර්ෂයේ මැයි මස රෝගී ප්‍රතිකාර සේවාවන් සඳහා විවෘත කළ අතර මේ වනවිට රෝහලේ ඇඳන් ධාරිතාව 675 කි. සියලුම වෛද්‍ය පහසුකම් වලින් මෙම රෝහල සමන්විත වේ.

මෙම සාකච්ඡාමය අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, නියෝජ්‍ය උප කුලපති බ්‍රිගේඩියර් චින්තක වික්‍රමසිංහ, රෝහලේ විධායක අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ජයාන් මෙන්ඩිස්, අධ්‍යක්ෂ (පරිපාලන) බ්‍රිගේඩියර් රොහාන් වෙත්තසිංහ, අධ්‍යක්‍ෂ (සෞඛ්‍ය සේවා) බ්‍රිගේඩියර් සමන් තිලකරත්න, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හර්ෂ විතාන යන මහත්වරුන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු නිළධාරින් පිරිසක් එක්ව සිටියහ.

අනුග්‍රහය - සෞඛ්‍ය අමාත්‍යාංශය