ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ ක්‍රීඩාශීලිත්වය විදහා පාමින්
12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල 2022/2023 අති උත්කර්ෂවත් ලෙස සමාප්ත වේ

නොවැම්බර් 25, 2023

සමාප්ති උළෙලට සහභාගි වූ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (නොවැ 24) සවස කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති 12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අමතමින් ක්‍රීඩාව, ජාතිය, ආගම හෝ සමේ වර්ණය නොසලකා සියලු මිනිසුන් එක් කරන බව ප්‍රකාශ කර සිටියේය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ගෞරවනීය ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගි විය.

මෙවර ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද අතර, මියගිය සියලුම රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව උත්සවයේ පිළිගැනීමේ කතාව සංවිධායක කමිටු සභාපති එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන විසින් පවත්වන ලදී.

මෙම වර්ණවත් උළෙල සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගි වූහ.

2022/2023 වසර සඳහා වූ 12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 147ක්, රිදී පදක්කම් 144ක් සහ ලෝකඩ පදක්කම් 122ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව සමස්ත ශූරයන් බවට පත් විය.

ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය මෙරට ත්‍රිවිධ හමුදාවේ අප්‍රතිහත ධෛර්යය පිළිබඳ සාක්ෂියක් වන අතර එය ක්‍රීඩකයන්ගේ ශාරීරික ශක්තිය පමණක් නොව නිල ඇඳුමින් සැරසී සිටින නිර්භීත සන්නද්ධ සේවා සාමාජිකයන්ගේ එකමුතුකම සහ ඔරොත්තු දීමේ හැකියාව ද මනාවට පිලිඹිබු කෙරෙන සුවිශේෂී අවස්ථාවක් වේ.

මෙම උත්සවය අතරතුර දී 12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල පුරාවටම සුවිශේෂී දක්‍ෂතා සහ ක්‍රීඩාශීලිත්වය ප්‍රදර්ශනය කළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණවලට සුභාශිංසන පිරිනැමිණි.

උත්සවය තවත් වර්ණවත් කරමින්, කුසලාන සහ ප්‍රශංසාවලින් ඔබ්බට ගිය හමුදා සාමාජිකයන්ගේ සුවිශේෂත්වය විදහා දක්වමින් යුධ, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදාවම නියෝජනය කරමින් පැරශුට් ක්‍රීඩකයින් අට දෙනෙක් රාත්‍රී අහසේ අඩි 6,000 ක් ඉහළ සිට ක්‍රීඩාංගනය වෙත ළඟා වූයේ හමුදා සාමාජිකයන් සතු ඕනෑම අභියෝගයකට එඩිතරව මුහුණ දීමට ඇති හැකියාව පසක් කරමිනි.

ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2024/2025 සංවිධායකත්වය උසුලන යුධ හමුදාපතිවරයා වෙත ගුවන් හමුදාපතිවරයා විසින් ආරක්‍ෂක සේවා ක්‍රීඩා ධජය සංකේතාත්මකව භාරදීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම්වරයා විසින් උත්සවයේ සමාප්තිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.