2023.12.04 දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය හා සබැඳිව මාධ්‍යයන්හි වූ අසත්‍ය ප්‍රචාරය පිළිබඳවයි

දෙසැම්බර් 04, 2023

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරීක්‍ෂා කිරීම සඳහා විවිධ අවස්ථාවන්හිදී පැමිණි හමුදා ප්‍රධානින් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් 2022 වර්ෂයේදී විශාල මුදලක් වැය කර ඇති බවට වැරදි අර්ථකථනයක් ලබාදෙමින් මාධ්‍යයන්හි ප්‍රචාරය වූ කරුණුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

මෙරට පමණක් නොව විදේශ රටවල ද මිත්‍ර හමුදාවන්හි හමුදා නිලධාරීන් සංග්‍රාමික උපායශීලීත්වයෙන් සහ උසස් දැනුමෙන් සන්නද්ධ කිරීමෙහිලා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනු ලබයි.

ඒ අනුව 2022 වසරේදී පැවති ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව සඳහා විදෙස් රටවල හමුදා නිලධාරීන් 24 දෙනෙකු සහ මෙරට හමුදා නිලධාරීන් 131 දෙනෙකු ඇතුළුව හමුදා නිලධාරීන් 155 දෙනෙකු සහභාගී විය.

ලෝකයේ ඕනෑම පොදු රාජ්‍ය මණ්ඩලීය රටක ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයක මෙහෙයවනු ලබන මෙවැනි පාඨමාලාවන්ගේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස වාර්ෂිකව එම පාඨමාලාව හදාරන දේශීය මෙන්ම විදේශීය රටවල ශිෂ්‍ය නිලධාරීන් වෙත එරට ආරක්‍ෂක ලේකම්වරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් විසින් ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්ති පිළිබඳව දේශන පැවැත්වීම සිදුකෙරේ. එම ක්‍රියාවලියට අනුකුලව ශ්‍රී ලංකාවේද මෙම උසස් නිලධාරීන්ගේ දේශන පවත්වනු ලබන අතර, රාජකාරී ස්වභාවය හේතුවෙන් සහ එකම අවස්ථාවක එම දේශන වාරයන් පැවැත්වීමේ ඇති ප්‍රයෝගික ගැටළු නිසාවෙන් අවස්ථා 5ක් යටතේ එම දේශන පැවැත්වීමට කටයුතු කෙරිණ.

එම අවස්ථාවන්හිදී දේශනවලින් අනතුරුව පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන්, උපදේශක නිලධාරීන් සහ නිත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ද ඇතුළුව 200ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් ආරක්‍ෂක ලේකම්වරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හෝ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ අදහස් හුවමාරුකර ගනිමින් තම දැනුම පුළුල්කර ගැනීම සඳහා අවස්ථාව සලසාලමින් ඔවුන් සමඟ එක්ව සාමුහික තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම පිළිගත් හමුදා සම්ප්‍රදායයි.

මේ අනුව එම සම්පුර්ණ වියදම් සිදුකර ඇත්තේ ආරක්‍ෂක ලේකම්වරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සංග්‍රහ කටයුතු සඳහා පමණක් නොවන බව ප්‍රකාශ කර සිටින අතර, මාධ්‍ය මගින් වැරදි අර්ථකථනයක් ලබාදීම පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශය කණගාටුව ප්‍රකාශ කර සිටී.

තවද, ඇතැම් මාධ්‍ය ආයතන මෙම සිදුවීම පිළිබඳ නිසි කරුණු සොයා බැලීමකින් තොරව වගකීම් විරහිත ලෙස අදහස් ප්‍රකාශ කිරීම මගින් ජනතාව තුල ආරක්‍ෂක අමාත්‍යංශය සහ ත්‍රිවිධ හමුදාව පිළිබඳව ජනතාව තුල පවතින විශ්වාසය කෙරෙහි කැළලක් ඇති කිරීමේ අරමුණින් කටයුතු කිරීම පිළිබඳව කණගාටුව ද පළකර සිටී.