ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 73 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

දෙසැම්බර් 08, 2023

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය අද දින (‍2023 දෙසැම්බර් 09) අභිමානවත්ව සමරනු ලබන අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් 73 වන සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත.

73 වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නිර්දේශය මත විවිධ තරාතිරම් වලට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 1877 ක් අද දින (2023 දෙසැම්බර් 09) උසස් කිරීමට කටයුතු කෙරිණි. ඒ අනුව, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 489 ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින් 264 ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයින් 625 ක් සහ ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 499 ක් වශයෙන් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 1877 ක් ඊළඟ තරාතිරම දක්වා උසස් කිරීම සිදුකෙරිණි.

අද දින (2023 දෙසැම්බර් 09) අභිමානවත් 73 වන සංවත්සරය සමරන ශ්‍රී නාවික හමුදාව දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. ප්‍රථම වරට මෙරට නාවික හමුදාවක ආරම්භය 1937 අංක 01 දරණ ස්වේච්ඡා නාවික හමුදා ආඥා පනත මඟින්, 1939 වර්ෂයේ රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ස්ථාපිත කිරීම මඟින් සිදුවී ඇති අතර, එය 1943 ඔක්තෝබර් මස 01 වන දින 'රාජකීය ලංකා ස්වේච්ඡා නාවික උපසේවය' බවට පත්වී ඇත. 1950 අංක 34 දරණ නාවික හමුදා පනත මඟින්, එවකට රාජකීය ලංකා ස්වේච්ඡා නාවික උපසේවයේ සක්‍රීය සේවයේ නියුතුව සිටි නිලධාරීන් ගෙන් සහ නාවිකයන් ගෙන් සමංවිතව, 1950 දෙසැම්බර් මස 09 වන දින 'රාජකීය ලංකා නාවික හමුදාව' ස්ථාපිතවීම, මෙරට ස්ථිර නාවික හමුදාවක ආරම්භය සනිටුහන් විය. එතැන් සිට මෙරට සාගරික වපසරියේ ආරක්‍ෂකයා ලෙස විශේෂ වගකීමක් ඉටු කරමින් දිනෙන් දින වර්ධනය වූ රාජකීය ලංකා නාවික හමුදාව, 1972 වර්ෂයේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟ, ‘ශ්‍රී ලංකා නාවික හමුදාව’ බවට පත් විය.

1980 දශකයේ මුල් භාගයේදී මෙරට උතුරු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් වර්ධනය වූ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන්, එතෙක් සාම්ප්‍රදායික චාරිත්‍රානුකූළ නාවික හමුදා භූමිකාවෙන් සංග්‍රාමික භුමිකාව වෙත පරිවර්තනය වූ නාවික හමුදාව, එතැන් සිට ත්‍රස්තවාදය මෙරටින් පිටුදැකීමේ ජාතික කර්තව්‍යය වෙනුවෙන් පිරිස් බලයෙන් හා යුදමය ශක්‍යතාවයෙන් ක්‍රමිකව වර්ධනය විය. දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය 2009 වර්ෂයේදී මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කිරීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, වර්තමානයේ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදාගැනීම සඳහා මෙන්ම, සාගර කලාපයේ ආරක්‍ෂාව සඳහා බලපාන සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා, නාවික හමුදාවේ සම්පත් හා පිරිස් බලය උපරිම ශක්ති ප්‍රමාණයෙන් යොදවමින් දේශයේ සමුද්‍රීය අභිලාශය සාක්ෂාත් කරගැනීම උදෙසා කැපවී සිටියි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කෙරිණි. එම ආගමික වැඩසටහන් මාලාව රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී 2023 නොවැම්බර් මස 16 සහ 17 දෙදින කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය සිදුකිරීමෙන් ආරම්භ වූ අතර, ක්‍රිස්තියානි දේව මෙහෙය බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේදී නොවැම්බර් මස 21 වන දින සිදුකෙරිණි

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව පැමිණි වසර 73 ක දීර්ඝ ඉතිහාසය තුල මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් සිදුකළ අනභිභවනීය මෙහෙවර හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර නාවික හමුදා රණවිරුවන් ගෞරවයෙන් අනුස්මරණය කරමින් සහ වත්මන් නාවික හමුදාධිපති ඇතුළු සේවයේ යෙදී සිටින සියළුම නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ආශිර්වාද පතා, සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනයක් සහ ගරුතර මහා සංඝ රත්නය 73 නමක් විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීම 2023 නොවැම්බර් මස 24 සහ 25 දෙදින වැලිසර නාවික සංකීර්ණයේදී සිදු කෙරිණි. නාවික හමුදාවට සෙත් පතා හින්දු දේව මෙහෙයක් කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් හින්දු දේවස්ථානයේදී 2023 දෙසැම්බර් මස 01 දිනද, ඉස්ලාම් දේව මෙහෙයක් කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේ දී 2023 දෙසැම්බර් 02 දිනද පැවැත්විණි.

තවද, 2023 දෙසැම්බර් මස 08 වන දින මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් වෙත ගිලන්පස බුද්ධ පූජාව සිදුකෙරුණු අතර, නාවික හමුදාවට ආශිර්වාද පතා අද දින (2023 දෙසැම්බර් 09) දළඳා සමිඳුන් උදෙසා බුද්ධ පූජාව සහ භික්ෂූන් වහන්සේ විෂයෙහි දානමය පුන්‍යකර්මය ශ්‍රී දළඳා සමිඳුන් අබියසදී සිදුකරනු ලබයි. එමෙන්ම, නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන් අද දින (2023 දෙසැම්බර් 09) සඳහිරු සෑය අභියසදී නාවික හමුදාවේ 73 වන සංවත්සරය වෙනුවෙන් ආලෝක පූජාවක්ද පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

තවද, 73 වන නාවික හමුදා සංවත්සර දිනයට සමගාමීව නාවික හමුදාව විසින් උතුරු, නැගෙනහිර සහ උතුරු මැද නාවික විධානයන් තුල සංවිධානය කෙරුණු ලේ දන්දීමේ වැඩසටහන් සඳහා නාවික හමුදා පුද්ගලයන් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී එම මහඟු සමාජ සත්කාර්යය සාර්ථක කරගැනීම සඳහා දායක විය.

දෘෂ්‍යමාන සතුරෙකු නොමැති වුවත්, සාගරය මතින් එල්ලවන අභියෝග ජයගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිවැරදි දැක්මට අනුව, ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් හා මඟ පෙන්වීමෙන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නිවැරදි නායකත්වයෙන්, නාවික හමුදාවට අනන්‍ය හමුදාමය, රාජ්‍යතාන්ත්‍රික සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ භූමිකාවන් ඉතා කාර්යක්ෂමව ඉටුකරමින්, නාවික හමුදාවේ පිරිස් බලය සහ ඉහළ සංචරණ ධාරිතාවයකින් යුත් නෞකා බලඇණිය මෙන්ම, අනෙකුත් විශේෂ බලඝණයන්, වසර 73ක් කැපවූ ආකාරයෙන්ම, ස්ථායි සාගර කලාපයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඉදිරියටත් කැපවී සිටියි.

අනුග්‍රහය - www.navy.lk