‘ශ්‍රී ලංකාව උසස් තලයක් දක්වා සුභවාදී ඉදිරි ගමනක’ – ආරක්‍ෂක ලේකම්

දෙසැම්බර් 11, 2023

‘ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා අපගේ ත්‍රිවිධ හමුදාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. මෙරට ඉතිහාසයේ දශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව සිදු කල සටනේදී, සාර්ථක හමුදා නායකත්වයන් මෙන්ම ඇතැම් අවස්ථා වලදී යුධ පිටියේ දුර්වල වූ අවස්ථාවන් පිළිබඳව ද අප අත්දැකීම් ලබා ඇත.'

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මෙම අදහස් පළ කළේ අද (දෙසැ 11) දින සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් අමතමිනි.

2023 දෙසැම්බර් 14 වන දින පැවැත්වීමට නියමිත ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලා අංක 17 සහතිකපත් ප්‍රදානෝත්සවයට ප්‍රථම ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය ශිෂ්‍ය නිලධාරීන් ඇමතීමට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා, එහි සේනාවිධායක මේජර් ජෙනරල් ලසන්ත රුද්‍රිගු විසින් පිළිගෙන එම විද්‍යාලයේ ශ්‍රවණාගාරය වෙත කැඳවා ගෙන යනු ලැබිය. ඉන් අනතුරුව, පුරා වසරක කාලයක් මෙම මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව හැදෑරු දේශිය සහ විදේශීය ත්‍රිවිධ හමුදා තරුණ නිලධාරීන් සමග ජෙනරල් ගුණරත්න සිය වටිනා දැනුම හා අත්දැකීම් බෙදා ගත්තේය.

 මෙම දේශනය සඳහා රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග ඇතුළු ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය ද සහභාගී විය. ආරක්‍ෂක ලේකම්වරයාගේ පැමිණීම සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණයක් ද ජෙනරල් ගුණරත්න වෙත මෙහිදී ප්‍රදානය කරන ලදි.