අධික වර්ෂාව හේතුවෙන් රටේ ඇති වී තිබෙන ආපදා තත්වය පිළිබඳ විශේෂ සාකච්ජාවක්
කොළඹ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේදී

දෙසැම්බර් 12, 2023

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් රට තුල ඇති වී තිබෙන ආපදා තත්වය සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (දෙසැ. 11) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

මෙහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ දැනට ඇති වී තිබෙන නායයාම් අවදානම් තත්වය පිලිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ලැබීය. තවද පසුගිය දෙසැම්බර් 09 දින හල්දුම්මුල්ල කැලිපනාවෙල ප්‍රදේශයේ නාය යෑමට ලක් වූ අවස්ථාවේ එම සිදුවීමට ප්‍රථමයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පවුල් 35ක සාමාජිකයන්ගේ දිවි බේරා ගැනීමට සහ සිදුවීමට ගිය හානිය අවම කර ගැනීමට ගනු ලැබූ කඩිනම් ක්‍රියාමාර්ග අමාත්‍යතුමාගේ පැසසුමට ලක් විය.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. එම නිසා ඇති විය හැකි ආපදා තත්වයන් සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග සහ එහිදී අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා අදාල නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය. තවද එවැනි හදිසි අවස්ථාවන් පිළිබඳ අවධානයෙන් පසු වන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අතුල කරුණානායක ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.