ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා දේශසීමා ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සමඟ ආරක්‍ෂක ලේකම්වරයා සාකච්ඡා කරයි

දෙසැම්බර් 12, 2023

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මැතිතුමා ප්‍රමුඛ දූත පිරිසක් අද (දෙසැ 12) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවී සුහද කතාබහක නිරත විය.

මෙම සාකච්ඡාව සඳහා ස්වෛරී දේශසීමා මෙහෙයුම් සඳහා වන ඒකාබද්ධ නියෝජිත කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී ධූරයෙන් නික්ම යන රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස්, එම තනතුරට අලුතින් පත් වූ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර් සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් ද ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සමඟ එක් විය.

සිය කාර්යාලයට පැමිණි ඔස්ට්‍රේලියානු තානාපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් ජෙනරල් ගුණරත්න, නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ අර්බුදය අවම කිරීම සඳහා ලබාදුන් සහයෝගයට මෙන්ම විවිධ ක්ෂේත්‍ර සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් ලබාදුන් සහාය පිළිබඳව සිය අවංක කෘතඥතාව සහ ස්තූතිය පුද කළේය.

තවද, අවිධිමත් සමුද්‍ර ජාවාරම් සහ අනෙකුත් ජාත්‍යන්තර අපරාධ මර්ධනය කිරීම සම්බන්ධයෙන් දෙරටේ 'රන් ප්‍රමිතිය' සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය කැපවීම මෙම හමුව ඔස්සේ තවදුරටත් තහවුරු කරන ලදි.

එමෙන්ම නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කර ඇති ප්‍රයත්නයන් මෙන්ම ඔස්ට්‍රේලියානු රජය මගින් ක්‍රියාත්මක කරන ස්වෛරී දේශසීමා මෙහෙයුම් සඳහා වන ඒකාබද්ධ නියෝජිත කාර්ය සාධක බලකාය වෙත මෙරට ත්‍රිවිධ හමුදාව විසින් දේශසීමා ආරක්‍ෂක මෙහෙයුම් හරහා ලබා දෙන සහයෝගය මහ කොමසාරිස්වරයා විසින් බෙහෙවින් අගය කලේය.

මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කිරීම සඳහා දෙරටේ නියෝජිතයන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණ.

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද මෙම හමුව සදහා සහභාගී විය.