මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරක්ෂක හමුදාවට ඇති වගකීම
සීමා කිරීමට කිසිවෙකුට බැහැ

දෙසැම්බර් 16, 2023
  • අසීරු අවස්ථාවලදී නායකත්වය ගැනීමට නොබියව ඉදිරිපත් වන්න

- ජනපති දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ උළෙලේදී පවසයි

මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනතා පරමාධිපත්‍ය හා ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැක ගැනීම ද ආරක්ෂක හමුදාවට පැවරෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වර්ගවාදී සහ ආගම්වාදී ලෙස වෙන්ව ක්‍රියා කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නම් එය ශ්‍රී ලාංකීය අනන්‍යතාවට සිදු කරන හානියක් බව ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අද (16) පෙරවරුවේ එක්වෙමිනි.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨය වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුදා උත්තමාචාර පිරිනමමින් අභිමානවත් අයුරින් පිළිගැනිණි.

ජාතියටත් ශ්‍රී ලංකා යුද හමුදාවටත් වීරෝධාර නායකයන් බිහිකළ යුද හමුදාවේ විශිෂ්ටතම නිලධාරී පුහුණු ආයතනය වන දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ 98වන විසිරයාමේ පෙළපාලිය මෙය වන අතර පුහුණුව නිම කළ කැඩෙට් නිලධාරීන් 274 දෙනෙකු අධිකාරියට පත් කිරීම අද දින සිදු කෙරිණි. විදේශ රටවල කැඩෙට් නිලධාරීන් 06 දෙනෙකුද පුහුණුව ලබා අධිකාරියට පත්වීම විශේෂත්වයකි.

කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලිය පරීක්ෂා කිරීමට සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වු අතර දක්ෂතම කැඩෙට් කණ්ඩායම වෙත ශූරතා පිළිගැන්වීම හා කැඩෙට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

වර්ෂ 1972 ඔක්තෝබර් 14 වන දින එකළ යුද්ධ පුහුණු මධ්‍යස්ථානය ලෙස නම් දැරූ මෙම විද්‍යා පීඨය වෙත, සිදු කරනු ලබන අනගිභවනීය සහ ප්‍රශංසාත්මක සේවය උදෙසා ප්‍රථම වරට ජනාධිපති වර්ණ පිළිගැන්වීම එවකට ජනාධිපතිව සිටි විලියම් ගොපල්ලව මහතා විසින් සිදු කරන ලදී. එසේම 1997 ජූනි මස 20 වන දින එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් එම ජනාධිපති වර්ණයන් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය වෙත ප්‍රතිප්‍රදානය හා නව විද්‍යාපීඨ වර්ණ ප්‍රදානය කිරීම සිදු කරන ලදී. ඉන් වසර 25කට පසුව වර්ණයන් දෙවන වරට ප්‍රතිප්‍රදානය හෙවත් පුනර් ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද දින සිදු කෙරිණි.

අනතුරුව ජනාධිපතිවරයා විසිර ගිය කැඩෙට් නිලධාරී නිලධාරිනියන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් දියතලාව යුද හමුදා විද්‍යා පීඨ පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාව අභිමානවත් ඉතිහාසයකට උරුම්කම් කියන දක්ෂ හමුදාවක් බවත් එහි අභිමානය රැක ගනිමින් කටයුතු කීරීම ඊට එක්වන සියලු දෙනාගේ වගකීම බවත්ය.

තමන් යටතේ සිටින සියලු දෙනාට නොබියව නායකත්වය ලබා දෙන ලෙස මෙහිදී විසිරි යන නිලධාරීන්ගෙන් සහ නිලධාරිනියන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා නායකත්වය දිය යුත්තේ අසීරු අවස්ථාවලදී බවත්, ඒ බව සිහියේ තබා ගනිමින් රට වෙනුවෙන් වගකීම් ඉටුකිරීමට සියලු දෙනා කැපවිය යුතු බවත් පැවසීය.

මෙහිදී උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨය ජාත්‍යන්තර කීර්තියක් අත්කරගත් ආයතනයක්. එවන් කීර්තිමත් ආයතනයකයි ඔබ පුහුණුව අවසන් කර තිබෙන්නේ. ඔබ සියලු දෙනාම අද සිට ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වෙනවා.

ශ්‍රී ලංකාව ස්වෛරි රාජ්‍යයක්. 1948 සිට අප ස්වෛරි රටක් ලෙස කටයුතු කරනවා. එම ස්වෛරි රටේ පරමාධිපත්‍ය ජනතාවට හිමියි. ආණ්ඩු තෝරාපත් කරගන්නේ සර්ව ජන ඡන්දයෙන්. ඒවගේම මේ රට ගොඩනැගී තිබෙන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාව පදනම් කර ගනිමින්. අපි සියලුදෙනා ශ්‍රී ලාංකිකයෝ. ලාංකිකයන් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්වය ආරක්ෂා කරගනිමින් අප සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස රටේ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළයුතුයි.

ඒ වගේම රටේ ආර්ථික වර්ධනය ඉහළ නංවාගත යුතුයි. රටක ආර්ථිකය කඩා වැටීමෙන් සිදු වන්නේ කුමක්ද කියා අප පසුගිය සමයේ අත්වින්දා. එවිට රටේ ස්වෛරීභාවය සීමා වෙනවා. රටේ ජනතාවට එක හා සමානව සැලකීමට නම් සමාජයීය දියුණුවක්ද තිබිය යුතුයි. ආර්ථික ප්‍රගතියත්, සමාජ ප්‍රගතියත් එහිදී ඉතා වැදගත් වෙනවා. මෙම රාමුව තුළ අප ක්‍රියා කළයුතුයි. මෙම රාමුව ආරක්ෂා කිරීමට එක් එක් කණ්ඩායම්වලට වගකීම් පැවරෙනවා. ජනාධිපතිවරයාගේ සිට පහළට එම වගකීම විහිද යනවා.

රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් හමුදාවට විශාල වගකීමක් පැවරෙනවා. ඊට කිසිවෙකුට අත තැබීමටවත්, සීමා කිරීමටවත් අපට ඉඩ දෙන්න බැහැ. ඒ සමගම ජනතා පරිමාධිපත්‍ය ආරක්ෂා කර ගත යුතුයි. එසේම ශ්‍රී ලාංකීය අනන්‍යතාව ආරක්ෂා කළ යුතුයි. කිසිවෙකු එම අනන්‍යතාව බිඳ දැමීමට උත්සහ කරනවා නම් හෝ වර්ගවාදී සහ ආගම්වාදී ලෙස වෙනම කටයුතු කිරීමට උත්සාහ කරනවා නම් එය ශ්‍රී ලාංකීය අනන්‍යතාවයට වන හානියක්.

ශ්‍රී ලංකා යුද හමුදාවට විශිෂ්ඨ ඉතිහාසයක් තිබෙනවා. ආසියාවේ නවීන යුද්ධ හමුදා ආරම්භ කරන අවස්ථාවේ හතර වන ස්ථානය හිමි වූයේ ශ්‍රී ලංකාවට. 1881 ලංකා පාබල හමුදාව ආරම්භ කිරීමෙන් අප එම ස්ථානයට පත් වුණා. ඒ වගේම අපේ ආරක්ෂක හමුදාව ඉතිහාසයේ පැවති සෑම ප්‍රධාන යුද්ධයකටම සහභාගී වී තිබෙනවා.

මෙම අභිමානවත් හමුදාවේ ගෞරවය ආරක්ෂා කරමින් ක්‍රියා කිරීමේ වගකීම ඔබට පැවරෙනවා. ඔබ තේරී පත්වී සිටින්නේ නායකත්වය ලබාදීම සඳහා. තමන් යටතේ සිටින සියලු දෙනාට නොබියව එම නායකත්වය ලබා දෙන්න. තමන්ගේ වගකීම් පැහැර හරින්න එපා. විශේෂයෙන් අසීරු අවස්ථාවලදී තමයි නායකත්වය ඉදිරියට ගත යුත්තේ. එම වගකීම මතක තබා ගෙන රට වෙනුවෙන් වගකීම ඉටු කරන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් තුෂාර මහලේකම් යන මහත්වරුන් ද, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ විසිර ගිය කැඩෙට් නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුග්‍රහය - ජනාධිපති මාධ්‍ය අංශය