බංග්ලාදේශ නව ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 20, 2023

නවතමයෙන් පත් වූ බංග්ලාදේශ ආරක්‍ෂක උපදේශක කොමදෝරු එම් මොනිරුස්සමන් අද (දෙසැ. 20) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

මෙම හමුව අතරතුර, ආරක්‍ෂක ලේකම්වරයා නව පත්වීම සම්බන්ධයෙන් කොමදෝරු මොනිරුස්සමාන් වෙත උණුසුම් සුභ පැතුම් පිරිනැමීය. බංග්ලාදේශය සමඟ පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතාවය සහ ආරක්‍ෂක සහයෝගීතාවය තව දුරටත් ශක්තිමත් කර ගනිමින් හමුදා පුහුණු හුවමාරුව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් අදාල වන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුවිය.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ඓතිහාසික සබඳතාවය පිළිබඳව ද සිහිපත් කළ ආරක්‍ෂක ලේකම්වරයා කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සඳහා දෙරටෙහි කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ආරක්‍ෂක හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සහ කලාපයේ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා තිරසාර සංවාද සහ හුවමාරු වැඩසටහන් වල වැදගත්කමද ඔවුන් දෙදෙනාම අවධාරණය කළහ.

මෙම හමුව අවසානයේ දී දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුවිය. මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද සහභාගි විය.

Sinhala.