‘ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට සැලකිය යුතු වගකීම් පැවරී ඇති අතර සියලු දෙනා උපරිම කැපවීමෙන් සේවය කිරීමට උත්සාහ කළ යුතුයි’ – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

ජනවාරී 01, 2024

ආරක්‍ෂක අමාත්‍යාංශයේ චාරිත්‍රානුකූලව අද දින (ජනවාරි 1) පැවති නව අවුරුදු දින උත්සවයට සහභාගි වෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ‘ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට වගකීම් සම්භාරයක් පැවරී ඇති අතර, උපරිම කැපවීමෙන් ජාතික අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට සියලු දෙනා උත්සාහ කළ යුතුයි’ යනුවෙන් ප්‍රකාශ කළේය.

‘නව වසරකට පා තබන මේ මොහොතේ, අප සැමගේ ජිවිත ආරක්‍ෂා කිරීමට මෙන්ම අප මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදූ සහ රණක්‍ෂිතයට පත් අපේ විරුවන් සිහිපත් කර ගෞරව කරමු. ඔවුන්ගේ ධෛර්යය, කැපවීම සහ පරාර්ථකාමීත්වය අප සදා මතකයේ රඳවා ගත යුතුයි ’, අද පෙරවරුවේ පැවති මෙම උත්සවයට එක්වෙමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පැවසීය.

මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ ආගමික වතාවත්වලින් ආරම්භ වූ මෙම චාම් උත්සවයෙහි ජාතික ධජය එසවීම රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් සිදු කරන ලදී. ඉන් අනතුරුව සියලු දෙනා ජාතික ගීය ගායනා කරන ලද අතර මියගිය රණවිරුවන් හා දේශය වෙනුවෙන් දිවි කැප කල සියලු දෙනා සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කරන ලදි. ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවය නියුතු සියලු අයවලුන් රාජ්‍යය සේවා ප්‍රතිඥාව කියවා දිවුරුම් දීමද මෙම අවස්ථාවේදී සිදුවිය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අමාත්‍යාංශය යටතේ ඇති සියලුම අංශ ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් මෙන්ම අමාත්‍යාංශයේ සේවය නියුතු අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ද සහභාගි විය.