'මිත්‍රත්වයේ පියාපත්' වැඩසටහන හරහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව
උතුරේ පාසල් ප්‍රතිසංස්කරණය කරයි

ජනවාරී 08, 2024

2024 මාර්තු 2 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා ගුවන් හමුදා 73 වන සංවත්සරයට සමගාමීව සමාජ සුබසාධන මෙහෙවරක් ලෙස සිදු කෙරෙන පාසල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ කන්කසන්තුරේ මයිලිඩ්ඩි උතුරු කලෙයිමගල් මහා විද්‍යාලයේ නව ප්‍රධාන ශාලා ගොඩනැගිල්ලකට මුල්ගල තැබීමේ උත්සවය පසුගියදා (ජන. 6) දින එම පාසලේදී පැවැත්විණ.

'මිත්‍රත්වයේ පියාපත්' නම් වූ මෙම සමාජ බල ගැන්වීමේ ක්‍රියාන්විතය යටතේ උතුරු සහ උතුරු මැද පළාත්වල තෝරාගත් පාසල් 73 ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමෙන් පහසුකම් වැඩි දියුණු කිරීම අරමුණු කර ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර ගරු පී.එස්.එම්.චාල්ස් මහත්මිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් (ගගන ඉංජිනේරු) එයාර් වයිස් මාර්ෂල් මුදිත මහවත්තගේ, උතුරු පළාත් රාජ්‍ය නිලධාරීන්, ගුවන් හමුදා නිලධාරීන්, මයිලිඩ්ඩි උතුරු කලෙයිමගල් මහා විද්‍යාලයේ විදුහල්පතිතුමිය, පාසලේ ගුරුභවතුන්, දෙමාපියන් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.