ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල පදිංචි අ.පො.ස උසස් පෙළ අයදුම්කරුවන්ට
නාවික හමුදාවේ සහාය

ජනවාරී 08, 2024

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇති වී තිබෙන ගංවතුරින් විපතට පත් ප්‍රජාවන්ට සේවය කිරීම සඳහා අනුයුක්ත කර ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහන කණ්ඩායම්, එම සහන කටයුතු වලට සමගාමිව ප්‍රදේශයේ පදිංචි අ.පො.ස උසස් පෙළ අයදුම්කරුවන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ඉදිරිපත් වී ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා බල ප්‍රදේශයේ මයිලපංචවේලි සහ සෝලුවඩ්ඩුවාන් ග්‍රාම නිලධාරී කොට්ඨාශවල ද ලංකාපටුන බල ප්‍රදේශයේ වෙරුගල් සහ මුතුචේනයි ග්‍රාම නිලධාරී කොට්ඨාශවල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෝමාවතිය ප්‍රදේශයේ ද විභාග අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත යාම සඳහා නාවික හමුදා කුඩා බෝට්ටු වලින් ප්‍රවාහනය සපයනු ලබන බව නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

පසුගිය දෙසැම්බර් 31 වන දින සිට මේ දක්වා ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ගංවතුරින් විපතට පත් වූවන් 2495 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද නාවික හමුදාවට හැකි වී තිබේ.

තවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිදු කල ඉල්ලීම්වලට අනුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි වැව් හා වාරි මාර්ග කිහිපයක වැව් බැමි සහ වාන් දොරටු පිරිසිදු කොට ශක්තිමත් කිරීමට ද නාවික හමුදා සාමාජිකයන් විසින් සහය ලබා දී ඇති බවද එහි සඳහන් වේ.