කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සඳහා
විදේශීය සිසුන් ලියාපදිංචි කෙරේ

ජනවාරී 08, 2024

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා වන උපාධි පාඨමාලාවන් වලට විදේශීය සිසුන් සහ විදේශීය සුදුසුකම් ඇති සිසුන් ලියාපදිංචි කිරීම පසුගිය ජනවාරි 03 වන දින විශ්වවිද්‍යාලයෙහි දී සංවිධානය කරන ලද කෙටි උත්සවයකින් ආරම්භ කෙරිණි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී භූතානය, මාලදිවයින, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, කැනඩාව, ඕමානය, කුවේට්, බහරේන් සහ කටාර් යන රටවල සිසුන් බොහෝ දෙනෙක් ලියාපදිංචිය සිදු කල බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය 2012 වසරේ සිට මේ දක්වා විදේශීය සිසුන් සහ විදේශීය සුදුසුකම් සහිත සිසුන් 481 දෙනෙකු වෙනුවෙන් අධ්‍යාපන කටයුතු සඳහා අවස්ථාවන් සලසා දී ඇති අතර දැනට විදේශීය සිසුන් සහ එවැනි සුදුසුකම් ඇති මෙරට සිසුන් 275 දෙනෙකු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ උපාධි පාඨමාලාව හදාරමින් සිටින බව ආරක්‍ෂක විශ්වවිද්‍යාලිය ආරංචි මාර්ග තවදුරටත් දක්වා ඇත.

මෙම අවස්ථාවට කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිළධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, අධ්‍යාපනඥයින් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.