මධ්‍යම අප්‍රිකානු ජනරජයේ දී සිදු වූ ගුවන් හමුදා හෙලිකොප්ටර් අනතුර: අල්-ෂබාබ් ප්‍රාණ
ඇපකාර සබැඳි චෝදනා ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

ජනවාරී 13, 2024
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව විමර්ශන ආරම්භ කරයි

සෝමාලියාවට හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පසු අල්-ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම විසින් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් බවට එල්ල වන චෝදනා සහ අසත්‍ය ප්‍රචාර ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමක් අතරතුර භාණ්ඩ ප්‍රවාහන ගුවන් රාජකාරීන්හී නියුතු ගුවන් හමුදාවේ MI 17 හෙලිකොප්ටරයක් (SMH 4417) ඊයේ (ජනවාරි 12) දින Sam-Oundja වෙත ගොඩ බෑමේදී අධික දූවිලි සහිත කාළගුණ තත්වයක් යටතේ ඇති වූ රොටර්වොශ් බ්‍රවුන්අවුට් (RWB) තත්වයක් හේතුවෙන් අනතුරට ලක් විය.
 
සිද්ධිය වන අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු මෙම හෙලිකොප්ටරයේ සිටි අතර කිලෝග්‍රෑම් 1200 කින් යුත් භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිට ඇත.
අනතුරින් කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇත.

කාර්ය මණ්ඩල සාමාජිකයන් සියලු දෙනා සහ එම හෙලිකොප්ටරය මේ වනවිට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා සාම සාධක හමුදා කඳවුරේ ආරක්‍ෂිතව ඇති බවට ආරක්‍ෂක අමත්‍යංශය තවදුරටත් තහවුරු කර සිටී.

සිදු වූ අනතුර පිළිබඳව කඩිනමින් සොයා බැලීමට ‌මෙන්ම හානියේ නිශ්චිත හේතුව සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. තවද, සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය වැඩි‍දුර තොරතුරු සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය සම්බන්ධ කරගන්නා ලෙස මාධ්‍යවේදීන්හට දැනුම් දෙනු ලැබේ.