ඕස්ට්‍රේලියානු නව ආරක්‍ෂක උපදේශක වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ජනවාරී 17, 2024

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඇමැන්ඩා ජොන්ස්ටන් අද (ජනවාරි 17) වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.

කර්නල් ජොන්ස්ටන් පැමිණි අවස්ථාවේදී ඇයව උණුසුම් ලෙස පිළිගත් අමාත්‍යතුමන් ඇයගේ නව පත්වීම සම්බන්ධයෙන් ඇය වෙත සුබ පැතුම් එක් කරන ලදි.

ආරක්‍ෂක උපදේශකයෙකු ලෙස පැවරී ඇති කාර්යභාරයේ වැදගත්කම අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී අවධාරණය කරන ලදි. ඔහු තම රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් නව ආරක්‍ෂක උපදේශකවරිය සමඟ බෙදාගත් අතර, ජාතීන් දෙකෙහිම යහපත වෙනුවෙන් කටයුතු කිරීමට ඇය දිරිමත් කළේය. තවද, අමාත්‍යවරයා විසින් නව ආරක්‍ෂක උපදේශකවරිය වෙත සිය ධූර කාලය තුළ දිවයිනේ සංචාරය කර එහි අසිරිය විඳින ලෙසටද ආරාධනා කළාය.

ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක හමුදාවන් අතර ආරක්‍ෂක සහයෝගීතාවයට අදාළ විවිධ කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලද අතර, වඩා යහපත් සහයෝගීතාවක් සහ පවතින සමීප සබඳතා වැඩිදියුණු කිරීම සඳහා වූ අන්‍යෝන්‍ය කැපවීමද අවධාරණය කෙරිණි.

දෙරටේ ආරක්‍ෂක අංශ අතර පවතින ශක්තිමත් සහ චිරස්ථායි සුහදතාවය සනිටුහන් කරමින් අමාත්‍ය තෙන්නකෝන් කර්නල් ඇමැන්ඩා ජොන්ස්ටන් වෙත සමරු තිළිණයක් ද මෙහිදී පිළිගැන්වීය.