96 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් එක්වෙයි

ජනවාරී 18, 2024

96 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ සමාප්ති උත්සවය ඊයේ (ජනවාරි 17) කොළඹ රාජකීය විද්‍යාලයේ MAS Arena හිදී පැවැත්වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගි විය.

2023 වසරේ විශිෂ්ටතම බොක්සිං ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා පොලිසියේ උමයංග මිහිරාන් සම්මානයට පාත්‍ර වූ අතර ශූරතාවලියේ සමාප්ති උළලේදී රන් පදක්කම් 23ක් සමඟින් ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං සමාජය 2023 වසරේ සාර්ථකම සමාජය ලෙස ඇගයීමට ලක්විය.

මෙහිදී ජයග්‍රාහක ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න සහ ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා විසින් කුසලාන සහ ඇගයීම් පිරිනැමීම සිදුවිය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද ආරක්‍ෂක ලේකම්වරයා සමඟ එක්ව සිටියහ.

ජාතික බොක්සිං ශූරතාවලියේ දක්‍ෂතාවයන් ජාතික බොක්සිං සංචිතය ගොඩනැගීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර එය 2024 දී ජාත්‍යන්තර තරඟාවලින් සඳහා මාවත විවර කරයි.

ශ්‍රී ලංකා බොක්සිං සංගමය, ජාතික තේරීම් කමිටුව සමඟ එක්ව ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ජාතික ශූරතාවලිය පවත්වන අතර 2024 සඳහා 1 වන සහ 2 වන ලෝක සුදුසුකම් ලැබීමේ තරඟාවලින් ද ඉලක්ක කරයි.

ශ්‍රී ලංකා යුධ, නාවික, ගුවන් සහ පොලිස් බොක්සිං සමාජ ඇතුළුව ක්‍රීඩා සමාජ 20 ක බොක්සිං ක්‍රීඩකයින් 150 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වෙමින් ජනවාරි 13 සිට 17 දක්වා දින පහක් පුරාවට මෙම ශූරතාවලිය පැවැත්වෙන ලදි.