සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 49 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජනවාරී 29, 2024

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් විසි අට දෙනෙක් (28) සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ 64 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් විසි එක් දෙනෙක් (21) විසිර යාමේ හා අධිකාරියට පත් කිරීමේ උත්සවය 2024 ජනවාරි මස 28 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී, පැවැත්විණි.

ඒ අනුව, සාර්ථකව පුහුණුව අවසන් කල මධ්‍ය නිලධාරීන් හතළිස් නව දෙනෙකු (49) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති අභිමානවත් අධිකාරියට පත්කිරීමේ පෙළපාලිය අවසන තම දෙමව්පියන් සහ සම්භාවනීය අමුත්තන් ඉදිරියේ විසිර යන ලද අතර, පුහුණුවීම් කාලසීමාව තුළදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ මධ්‍ය නිලධාරීන් විසින් ගරු අග්‍රාමාත්‍ය තුමන් වෙතින් එහිදී විශේෂ සම්මාන හිමිකර ගන්නා ලදි. ඒ අනුව, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 වන බඳවා ගැනීමේ දක්‍ෂතම මධ්‍ය නිලධාරියාට හිමි අසිපත සහ වෘත්තීය විෂයයන් ගෙන් හා සියළු විෂයයන් ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මාන මධ්‍ය නිලධාරී එච්ආර්එල් දේමින්ද විසින් හිමි කර ගන්නා ලදි. එමෙන්ම, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය කාන්තා මධ්‍ය නිලධාරී කේඑල්ඩීඑස් ටාන්යා විසින්ද, හොඳම ඉලක්කකරුට හිමි සම්මානය මධ්‍ය නිලධාරී ඩීඑම්පීඑස් දසනායක විසින්ද ගරු අග්‍රාමාත්‍ය තුමන් වෙතින් හිමි කර ගන්නා ලදී.

එමෙන්ම, 64 වන බඳවා ගැනීමේ දක්‍ෂතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත සහ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍ය නිලධාරී එච්ආර්එල් පෙරේරා විසින් හිමි කරගන්නා ලද අතර, සියළු විෂයයන් ගෙන්, වෘත්තීය විෂයයන් ගෙන් සහ නාවික විෂයයන් ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මාන මධ්‍ය නිලධාරී ඩීයූඑම් සේරසිංහ විසින් සහ හොඳම ඉලක්කකරුට හිමි සම්මානය මධ්‍ය නිලධාරී එම්යූඑස් කුමාර විසින් හිමිකර ගන්නා ලදි.

එහිදී අධිකාරියට පත් නිලධාරීන් අමතමින් අදහස් දැක්වූ ගරු අග්‍රාමාත්‍ය දිනේස් ගුණවර්ධන මැතිතුමා, මධ්‍ය නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ විචිත්‍රවත් අවස්ථාව වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීම සඳහා ආරාධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක තුමා හට සහ නාවික හමුදාධිපති වෙත ප්‍රථමයෙන් සිය ස්තුතිය පල කරන බව පවසන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු අග්‍රාමාත්‍ය තුමන්, මාතෘභූමියේ ආරක්‍ෂාව සහ පුරවැසියන්ගේ ආරක්‍ෂාව රටේ ත්‍රිවිධ හමුදාව මත රඳා පවතින බවත්, එම වගකීම කැපවීමෙන් හා අධිෂ්ඨානයෙන් ඉටුකිරීමට උරදෙන උතුම් සේවාවක සාමාජිකයන් බවට අධිකාරියට පත් නිලධාරීන් අද දින සිට පත් වන බවත්, තම විනය උසස් අන්දමින් පවත්වා ගනිමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව වෘත්තීය නිපුණත්වයෙන් පරිපූර්ණ ආයතනයක් බවට පත් කිරීමේ අඛණ්ඩ ක්‍රියාවලියට සහාය වීම සහ, විශේෂයෙන් රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවීම, අධිකාරියට පත් නිලධාරීන් ගෙන් අපේක්ෂා කරන බවත් පවසන ලදී

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන කාර්යය භාරයට අමතරව ස්වාභාවික ආපදා තත්ත්වයන්හිදී ඉටු කරනු ලබන කාර්යය භාරයද අගය කොට සලකන බව පැවසූ අග්‍රාමාත්‍ය තුමන්, මෙරට සාගර කලාපයට අනවසරයෙන් ඇතුල්වීම වැළැක්වීමේ නව අභියෝගයන් සඳහා මුහුණ දීමද නාවික හමුදාවේ කාර්යය භාරයක් බවත් පවසන ලදී.

නවීන තාක්‍ෂණය පිළිබඳ පර්යේෂණ කරමින් තම වෘත්තීයභාවය නිරතුරුව වැඩිදියුණු කරගනිමින් නාවික හමුදාවේ උසස් නිලධාරීන් මෙන් නායකත්ව වගකීම් දැරීමට අවශ්‍ය ගුණාංග වැඩිදියුණු කරගන්නා ලෙස අධිකාරියට පත් නිලධාරීන් වෙත අවධාරණය කෙරිණි.

මාතෘභූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල වීරෝධාර නාවික හමුදා රණවිරුවන් සිදුකල එම උත්තරීතර කැපකිරීම කෘතවේදීව සිහිපත්කල අග්‍රාමාත්‍ය තුමන්, නාවික හමුදා ඉතිහාසයේ සිටි එවන් වූ එඩිතර රණවිරුවන් මෙන්, අධිකාරියට පත් නිලධාරීන්ද මව් බිම වෙනුවෙන් සේවය කිරීම සඳහා අධිෂ්ඨානශීලීව කැපවන බව තමන් විශ්වාස කරන බවත් පවසන ලදී.

මාතෘභූමිය වෙනුවෙන් සේවය කිරීම සඳහා තම දරුවන් දිරිමත් කල අධිකාරියට පත් නිලධාරීන්ගේ දෙමව්පියන් වෙත මෙන්ම, අධිකාරියට පත් නිලධාරීන් පුහුණු කිරීම සඳහා කැපවූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු උපදේශක කාර්යය මණ්ඩලය වෙතද සිය ප්‍රණාමය පුදකරන බව පැවසූ ගරු අග්‍රාමාත්‍ය තුමන්, වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියනු ලබන උපායමාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශයක් වන ත්‍රීකුණාමලය පුරවරයෙහි පුහුණුව ලද විසිර යන නිලධාරීන්, එම ඓතිහාසික වටිනාකම අවධානයට ගනිමින්, කාර්යක්ෂමව හා ගෞරවාන්විතව රාජකාරි ඉටු කිරීමට අධිෂ්ඨාන කරගතයුතු බවත් පවසන ලදී.

නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශණයකින් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශනයකින් අනතුරුව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කරන ලද හිරු අස්ථවිය චාරිත්‍රයත් සමඟින් අධිකාරියට පත් කිරීමේ උළෙල නිමාවට පත්විය.

තවද, මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු සෙන්දිල් තොන්ඩමාන් මැතිතුමා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ එම මැතිණිය, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මහත්මිය, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර (විශ්‍රාමික), නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ ඇතුළු නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා විධාන ආඥාපතිවරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති ‍කොමදෝරු බුද්ධික ලියනගමගේ ඇතුළු ධජ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ හා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සම්භාවනිය අමුත්තන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමව්පියන් පිරිසක් සහභාගීවී සිටියහ.

අනුග්‍රහය : www.navy.lk