ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් 76 වන නිදහස් දින පැරෂුට් පුහුණු පෙරහුරුවේදී හදිසි අනතුරට පත් පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසයි

ජනවාරී 31, 2024

කොළඹ, ගාලු මුවදොර පිටියේ පැවති 76 වන නිදහස් දින සැමරුම් පෙළපාලි පෙරහුරුවට සමගාමීව පැවති පැරෂුට් පුහුණුවීම් අතරතුරදී සිදුවූ අනතුරින් තුවාල ලැබූ යුද්ධ හමුදා හා ගුවන් හමුදා පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසීම සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා යුද්ධ හමුදා රෝහල වෙත හා කොළඹ ජාතික රෝහල වෙත පැමිණෙන ලදි.

මෙම අනපේක්‍ෂිත අනතුරට මුහුණ දුන් යුද හමුදා හා ගුවන් හමුදා සාමජිකයින් වෙත ගොස් ඔවුන්ගේ සුවදුක් විමසු රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන් සමඟ කෙටි කතාබහක ද නිරත වූ අතර, තුවාල ලැබූ ආරක්‍ෂක සමාජිකයින් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ලදි.

රෝහලෙන් පිටව යාමට ප්‍රථම ඔවුන්ගේ ප්‍රතිකාර හා වර්තමාන සෞඛ්‍ය තත්වය පිළිබඳ රෝහල් කාර්යය මණ්ඩල සමඟ සාකච්ඡා කල ඇමැතිවරයා මෙවැනි හදිසි තත්වයන්වලදී රෝහල් කාර්යය මණ්ඩලයේ කඩිනම් ප්‍රතිකාර සේවය හා ඔවුන්ගේ කැපවීම පැසසුමට ලක් කරන ලදි.