ප්‍රතිකාර ලබමින් සිටින පැරෂුට් භටයින්ගේ සුවදුක් බැලීමට
ආරක්‍ෂක ලේකම් රෝහල් සංචාරයක

ජනවාරී 31, 2024

76 වැනි නිදහස් දින පෙරහුරුවේදී හදිසි අනතුරකට ලක්ව තුවාල ලැබූ පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ජාතික රෝහලට සහ යුද හමුදා රෝහලට ගියේය.

ගාලු මුවදොර පිටියේදී සිදුවූ අවාසනාවන්ත සිද්ධියෙන් තුවාල ලැබූ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසීමට ජෙනරල් ගුණරත්න රෝහල් වෙත පැමිණි අතර, මෙම පැරෂුට් භටයින්ගේ ඉක්මන් සුවය පිණිස ගත හැකි ඉදිරි ප්‍රතිකාර පිළිබඳව ඔහු රෝහල් දෙකෙහිම වෛද්‍ය බලධාරීන් හමුවී සාකච්ඡා කළේය.

ගාලු මුවදොර පැවති නිදහස් දින පැරෂුට් පුහුණු පෙරහුරුවේදී සිදුවූ අනතුරින් නිලධාරියෙකු ඇතුළු යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලදි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් තුමා සමග යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ද සහභාගි විය.