කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වෙත ස්වයංක්‍රීය මූලික අවි පුහුණු සිමියුලේටරයක්

පෙබරවාරි 02, 2024

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් පසුගියදා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට පූර්ණ ස්වයංක්‍රීය අවි පුහුණු සිමියුලේටරයක් නිල වශයෙන් භාර දෙන ලදි.

ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් බුද්ධික අස්සලආරච්චි විසින් මෙම සිමියුලේටරය බදාදා (ජන. 31) පැවති උත්සවයකදී ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර වෙත භාර දෙන ලද බව කොතලාවල විශ්වවිද්‍යාලීය මාධ්‍ය සඳහන් කරයි.

මෙම සිමියුලේටර් අවි පුහුණු මධ්‍යස්ථානය වෙඩි තැබීමේ මංතීරු හයකින් සමන්විත වන අතර, ඒ සෑම මන්තිරුවකම ලේසර් සවිකර ඇති අතර, නවීකරණය කරන ලද T-56 ප්‍රහාරක රයිෆලයේ ලේසර් බලපෑම් ග්‍රහණය කර ගැනීම සඳහා LED ඉලක්ක පුවරුවක් ඇත. මීටර් 50ක උපරිම වෙඩි තැබීමේ දුරක් සහිත පූර්ණ ස්වයංක්‍රීය සහ චංචල ඉලෙක්ට්‍රොනික ඉලක්ක පද්ධතිය මඟින් අභ්‍යාසලාභීන්ට බිම දිගාවීමේ, දණහිස් හා සිටගෙන සිටින ඉරියව් වල ලේසර් වෙඩි තැබීමේ හැකියාව ඇති අතර, අසල ඇති LCD තිර මගින් ඉලක්කපත් නිරීක්‍ෂණය කිරීමට පහසුකම් සපයයි.

කොතලාවල විශ්වවිද්‍යාලීය නියෝජ්‍ය උපකුලපති (ආරක්‍ෂක සහ පරිපාලන), ඒකාබද්ධ උසස් පර්යේෂණ සහ අධ්‍යාපන අධ්‍යක්‍ෂ මෙන්ම අවි පුහුණු සිමියුලේටරය නිර්මාණය කිරීමේ පුරෝගාමියා වන ලුතිනන් කර්නල් (ආචාර්ය) N A B M S නිශ්ශංක සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සහ ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක්ද මෙම අවස්ථාවට පැමිණ සිටි බව වැඩිදුරටත් පවසයි.