සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනය හේතුවෙන් දීපව්‍යාප්ත රෝහල්වල දෛනික කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට යුද්ධ හමුදාවේ දායකත්වය

පෙබරවාරි 13, 2024

දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාළ වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 2024 පෙබරවාරි මස 13 දින යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදෙනු ලබයි.

මේ වනවිට, කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කළුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්‍ෂණ රෝහල් ඇතුළු රෝහල් 48 ක දෛනික මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා අදාළ ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් 900 කට අධික පිරිසක් යොදවා ඇත. කොළඹ අක්‍ෂි රෝහල සහ මාතලේ, පොළොන්නරුව, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, මඩකලපුව, දෙහිඅත්තකණ්ඩිය, හම්බන්තොට, දෙබරවැව, රත්නපුර, බලංගොඩ, ඇහැලියගොඩ, නාවලපිටිය, බදුල්ල, ඇල්පිටිය, හෝමාගම, කෑගල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, මැදවච්චිය, කැකිරාව, පදවිය, කහටගස්දිගිලිය, ඔඩ්ඩුසුඩාන් සහ මාන්කුලම් යන ප්‍රදේශවල රෝහල්වල දෛනික කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා භටපිරිස් කටයුතු කරනු ලබන අතර හදිසි අවස්ථාවන්හිදී කඩිනමින් යෙදවීමට අතිරේක භටපිරිස් කණ්ඩායම් ද සූදානම්ව සිටිති.

අනුග්‍රාහය - www.army.lk