‘අප අනාගතය ගැන සාකච්ඡා වලට පමණක් සීමා නොවී අපගේ සන්නද්ධ හමුදාවන්ගේ
ප්‍රබල හැකියාවන් සමඟ අනාගතය හැඩගස්වා ගනිමු.’ - ආරක්‍ෂක ලේකම්

පෙබරවාරි 16, 2024

‘වර්තමානය වන විට, සිවිල්, යාන්ත්‍රික, ඉලෙක්ට්‍රොනික, විදුලි සංදේශ, නාවික, ගුවන්යානා සහ ගගන ඉංජිනේරු මෙන්ම තවත් බොහෝ ක්ෂේත්‍රයන්හි පුළුල් පරාසයක් ඔස්සේ විහිදෙන, 1800 කට අධික ත්‍රිවිධ හමුදා ඉංජිනේරු නිලධාරීන්ගේ ශක්තිය සමඟ අපි ආඩම්බරයෙන් නැගී සිටින්නෙමු. තරුණ හමුදා ඉංජිනේරු නිලධාරීන්ගේ අභිලාෂයන් ඉහළ නැංවීම අපගේ මූලික අරමුණ වන අතර, සමාජයේ අනෙකුත් ක්ෂේත්‍ර තුළද පිළිගැනීමට ලක්වන පරිදි වරලත් ඉංජිනේරුවරුන් ලෙස සුදුසුකම් ලබාගැනීම සඳහා අවශ්‍ය කෙරෙන සහයෝගය සහ සම්පත් ලබාදීමෙන් ඔවුන් ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉහළ තලයකට ගෙන ඒම අපගේ පරමාර්ථයයි.’

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මෙම අදහස් පළකළේ, ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලය (CMETSL) විසින් අද (පෙබ. 16) දින වැලිසර නාවික හමුදා Wave N' Lake උත්සව ශාලාවේ සංවිධානය කරන ලද හමුදා ඉංජිනේරු සහ තාක්‍ෂණ සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

තවද, යුද මෙහෙයුම්වල සාර්ථකත්වය වෙනුවෙන් තාක්‍ෂණික භාවිතයේ ඇති අතිශය තීරණාත්මක කාර්යභාරය ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය. වර්තමාන ලෝකයේ ශීඝ්‍රයෙන් විකාශනය වන යුධ තාක්‍ෂණය හා එහි භාවිතයන් පිළිබඳ අවබෝධය ජාතික ආරක්‍ෂාවට අතිශයින් වැදගත් බව සිහිපත් කළ ආරක්‍ෂක ලේකම්වරයා, එම නව තාක්‍ෂණික ප්‍රවේශයන්ට අනුගත වන පරිදි ශක්තිමත් ජාතික ආරක්‍ෂක උපාය මාර්ගික ක්‍රියාවලියක් ගොඩනැංවීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

සමුළුව පැවැත්වෙන අතරතුර, ආරක්‍ෂක ලේකම්වරයා විසින් කීර්තිමත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු වෙත ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලයෙහි ගෞරව සාමාජික සහතිකපත් ප්‍රදානය ද සිදුකරන ලදි.

ආරක්‍ෂක සේවා සහ වෙනත් විවිධ තාක්‍ෂණික අංශ අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින්, “අනාගතය සඳහා ඉංජිනේරුකරණය: හමුදා තාක්‍ෂණයේ සහ ඉංජිනේරු විද්‍යාවේ නවීන අභියෝග කළමනාකරණය” යන තේමාව යටතේ පවත්වන ලද මෙම සමුළුව, අති නවීන තාක්‍ෂණික මෙවලම් හා ඒවායේ කාර්යභාරය, නවෝත්පාදන සහ ඒ හරහා ඇති කෙරෙන ආරක්‍ෂක අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් සපයයි.

සමුළුවේ පිළිගැනීමේ දේශනය ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලයේ සභාපති සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් - ඉංජිනේරු, රියර් අද්මිරාල් රවී රණසිංහ විසින් සිදුකරන ලද අතර, ප්‍රධාන දේශනය WSO2 සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සංජිව වීරවර්ණ මහතා විසින් සිදුකරන ලදි.

ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලයේ සමාරම්භක සමුළුවේදී මේජර් ජෙනරල් තුවාන් ෆැඩිල් මීඩින් (විශ්‍රාමික), රියර් අද්මිරාල් ඒ වී අබේසේන (විශ්‍රාමික), එයාර් කොමඩෝර් ජයසිරි අමරසේන (විශ්‍රාමික), ශ්‍රී ලංකා නාවික හමුදාවේ වත්මන් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න, Dialog Axiata සමාගමේ තොරතුරු ආරක්‍ෂණ ප්‍රධානී ෆරාෂ් සමාත් මහතා සහ Huawei Technologies Lanka (Pvt) Ltd හි උපායමාර්ගික උපදේශක සහ උප සභාපති ඉන්දික ඩි සොයිසා මහතා ඇතුළු හමුදා සහ තාක්‍ෂණ ක්ෂේත්‍රවල ප්‍රධාන පාර්ශවකරුවන් පිරිසක් විසින් ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන ලද මෙම සම්මන්ත්‍රණය, හමුදා සහ තාක්‍ෂණ විශේෂඥයින් සහ සම්පත් දායකයින් එකට හමුවුනු තීරණාත්මක වැදගත් අවස්ථාවක් විය.

සන්නද්ධ සේවා සහ පුද්ගලික තාක්‍ෂණික ආයතන ඒකාබද්ධව ක්‍රියාකිරීමේදී මුහුණ දෙන ප්‍රධාන ගැටළු පිළිබඳව සංවාදයේ යෙදීමට සහ අදහස් හුවමාරු කරගැනීමට සුවිශේෂී අවස්ථාවක් මෙම සමුළුව මගින් ලබාදුන්නේය. මෙම අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, වැඩබලන අතිරේක ලේකම් (ආරක්‍ෂක) හර්ෂ විතානආරච්චි මහතා, අතිරේක ලේකම් (ආරක්‍ෂක සේවා) ජයන්ත එදිරිසිංහ මහතා සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් හරින්ද්‍ර පීරිස් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී විය.