මිලාන් - 2024 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා
ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ දිවයිනෙන් පිටත්වෙයි

පෙබරවාරි 17, 2024

ඉන්දීයානු නාවික හමුදාව විසින් 12 වන වරට සංවිධානය කරනු ලබන මිලාන් - 2024 බහුපාර්ශික නාවික අභ්‍යාසය, මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය හා බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2024 පෙබරවාරි මස 19 වන දින සිට 27 වන දින දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව අද දින (2024 පෙබරවාරි 16) ත්‍රීකුණාමල වරායෙන් දිවයිනෙන් පිටත් විය.

"සුහදත්වය, එකමුතුකම සහ සහයෝගීතාවය” (Camaraderie Cohesion Collaboration) යන තේමාව රැගත් මිලාන් - 2024 බහුපාර්ශික නාවික අභ්‍යාසය කලාපීය හා කලාපීය නොවන රාජ්‍යයන් රැසක නාවික හමුදාවන් සහ සමුද්‍රීය පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගීවන ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් චන්දිම සිල්වා සහ ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් දර්ශන අමරකෝන් වෙත නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා විසින් සුභාශිංෂණ පිරිනැමීමෙන් අනතුරුව, සයුරළ නෞකාව මෙලෙස අද දින (2024 පෙබරවාරි 16) ත්‍රීකුණාමල වරායෙන් දිවයිනෙන් පිටත් විය.

තවද, මෙවැනි බහුපාර්ශ්වික නාවික අභ්‍යාස සඳහා සහභාගී වීම මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට කළාපීය මෙන්ම ඉන් පිටත නාවික හමුදාවන් හට අනෙකුත් සමුද්‍රීය පාර්ශ්වකරුවන් සමඟ අන්‍යෝන්‍ය සහයෝගීතාවය හා අන්තර්ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාවන අතර, සමුද්‍රීය මෙහෙයුම් සම්බන්ධ නව දැනුම, උපාය මාර්ගික ක්‍රමෝපායයන් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, ඉන්දියානු සාගර කලාපයේ නව සමුද්‍රීය අභියෝග හඳුනා ගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසදුම් සෙවීමට හැකිවීම වැනි ප්‍රතිලාභ රැසක් ද මෙවැනි අභ්‍යාස සඳහා සහභාගී වීම මඟින් හිමි වනු ඇත.

අනුග්‍රහය- www.navy.lk