ලෝක හමුදා දිනය නිමිත්තෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන්
CISM මාර්ග ධාවනය පැවැත්වේ

පෙබරවාරි 19, 2024

ලෝක හමුදා දින සැමරුම සනිටුහන් කරමින් පසුගිය ඉරිදා (පෙබරවාරි මස18) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණු ‘Conseil International du Sport Militaire’ (CISM) මාර්ග ධාවනය සඳහා යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 300 කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම වසරේ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයෙන් ආරම්භ වූ ‘CISM මාර්ග ධාවනය’ කිලෝමීටර් 2.5 ක දුරක් ගෙවා යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසලින් සමාප්ත කෙරිණි. ත්‍රිවිධ හමුදාධිපතිවරුන් ප්‍රමුඛ යුද්ධ, නාවික හා ගුවන් හමුදාවන්හි සාමාජිකයන් සියදෙනෙකු බැගින් මෙම මාර්ග ධාවනය සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ක්‍රීඩා හැකියාවන් සබැඳිව ජාත්‍යන්තර පිළිගැනීම එතුලින් පිළිබිඹු කරයි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද ‘CISM මාර්ග ධාවනය’ සඳහා සහභාගි වූ සෑම හමුදා සාමාජිකයෙකු සඳහාම සහතික පත්‍රයක් පිරිනැමිණි. සහතිකපත් බෙදාදීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහභාගී වූහ.

සියලුම ජාතීන්ට අයත් සන්නද්ධ හමුදා සාමාජිකයන් වෙත ක්‍රීඩාව ඔස්සේ ශාරීරික පුහුණුව, පෙර සූදානම සහ අධ්‍යාපනය ලබාදෙමින් හමුදා සාමාජිකයන් අතර මිත්‍රත්වය ප්‍රවර්ධනය කරනු ලබන ලෝක ව්‍යාප්ත ජාත්‍යන්තර හමුදා ක්‍රිඩා සංවිධානයක් ලෙස CISM හැඳින්විය හැකිය.

අනුග්‍රහය - www.army.lk