ගෝලීය ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ජාතීන් ලෙස අප අතර පවත්නා අන්තර් සහයෝගිතාවය අතිශයින් වැදගත් - ආරක්‍ෂක ලේකම්

පෙබරවාරි 27, 2024

රසායනික අවි තහනම් කිරීම සඳහා වූ සංවිධානය මගින් ගෝලීය සාමය සහ ආරක්‍ෂාව පවත්වා ගෙන යාම සඳහා ඉටු කරන කාර්යභාරය සැලකීමේදී, ආරක්‍ෂාව සම්බන්ධයෙන් සැලකිය යුතු රසායනික ද්‍රව්‍ය අධීක්‍ෂණය කිරීම සඳහා නව පනතක් හඳුන්වාදීම හා මාර්ගගත රසායනික අධීක්‍ෂණ සහ නියාමන පද්ධතියක් හඳුන්වාදීම ඔස්සේ, ඒ සඳහා වන ශ්‍රී ලංකා රජයේ සහ ඊට අනුබද්ධ ආයතනවල සුවිශේෂී කැපවීම පිළිබිඹු කරයි.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මෙම අදහස් පළ කළේ, රසායනික අවි තහනම් කිරීම සඳහා වූ සංවිධානය, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය සමඟ එක්ව අද (පෙබ 27) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී සංවිධානය කරන ලද විශේෂඥ වැඩමුළුවෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

ගනුදෙනුකරුවන් හඳුනාගැනීම සඳහා ප්‍රායෝගික මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම සහ කඩිනම් රසායනික සැපයුම් දාමයක් සංවර්ධනය සඳහා වන පිළිවෙත් යන තේමාව ඔස්සේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙන මෙම වැඩමුළුව පෙබරවාරි 27 සිට මාර්තු 01 දක්වා ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, බ්‍රසීලය, මෙක්සිකෝව, චීනය, ඉන්දියාව, කෙන්යාව සහ නයිජීරියාව යන රටවල විශේෂඥයින් සහ ශ්‍රී ලංකාවේ විශේෂ ආරාධිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

රසායනික අවි තහනම් කිරීම සඳහා වූ සංවිධානය, රසායනික අවි පිලිබඳ සම්මුතිය ක්‍රියාත්මක කරන ප්‍රධානතම ආයතනය වන අතර මෙම සම්මුතිය හරහා රසායනික අවි සංවර්ධනය කිරීම, නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම සහ භාවිතය මෙන්ම ඒවා විනාශ කිරීම තහනම් කිරීම නියාමනය කිරීම සිදු කරනු ලබයි. මෙම සම්මුතිය ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක කෙරෙන ගිවිසුමක් වන අතර, එමගින් ඇතැම් විනාශකාරී අවි වර්ග මුලිනුපුටා දැමීම අරමුණු කොටගෙන ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩපිළිවෙල ඔස්සේ ජාතික වශයෙන් ක්‍රියාත්මක කෙරෙන රසායනික ත්‍රස්තවාදය පිටුදැකීමේ වැඩසටහන් සහ රසායනික ත්‍රස්තවාදය ඇතිවීමට බලපෑ හැකි කරුණු කෙරෙහි අවධානය යොමු කරයි.

රසායනික අවි පිළිබඳ සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාත්‍යන්තර වෑයමට සමගාමිව, ශ්‍රී ලංකාව විසින්, රසායනික අවි තහනම් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සහ අනෙකුත් රාජ්‍ය පාර්ශව සම්බන්ධීකරණය කිරීම සඳහා රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය පිහිටුවන ලදි. ශ්‍රී ලංකාව 1993 ජනවාරි 14 වැනි දින රසායනික අවි සම්මුතියට අත්සන් කිරීමෙන් අනතුරුව එය 1994 අගෝස්තු 19 දින රජය විසින් අනුමත කරන ලදි. මෙම සම්මුතිය ප්‍රකාරව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා වූ 2007 අංක 58 දරණ රසායනික අවි සම්මුති පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතර, එය 2019 අංක 1 දරණ රසායනික අවි සම්මුති සංශෝධිත පනත ලෙස සංශෝධනය කරන ලදි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක සේවා) ජයන්ත එදිරිසිංහ මහතා, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (ඉංජිනේරු) රියර් අද්මිරාල් රවී රණසිංහ, රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික සහ අධි බල පුපුරණ ද්‍රව්‍ය වල ආරක්‍ෂාව පිළිබඳ උපදේශක ආචාර්ය රොහාන් පී. පෙරේරා මහතා සහ රසායනික අවි තහනම් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරී Taoen Kim මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම වැඩමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගි විය.