25 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය කොළඹින් ඇරඹෙයි

මාර්තු 04, 2024

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 25 වැනි වරටත් සංවිධානය කරන ‘ගුවන් හමුදා පාපැදි සවාරිය - 2024' තරගාවලිය ඊයේ (මාර්තු 03) උදෑසන කොළඹ ගාලු මුවදොර පිටිය අසලින් ආරම්භ විය. ගුවන් හමුදා 73 වැනි සංවත්සරයට සමගාමීව දින පහක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් ආරම්භක ධජය එසවීමෙන් සංකේතාත්මකව ආරම්භ කෙරිණ.

දෙස් විදෙස් තරඟකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරඟාවලිය සඳහා ඉන්දීය ගුවන් හමුදාව නියෝජනය කරමින් හතර දෙනෙකුගෙන් යුත් ප්‍රබල කණ්ඩායමක් ද සහභාගී වී සිටී. පිරිමි ධාවන තරඟයේ පළමු අදියරය ලෙස, කොළඹ සිට මහනුවර නගරයට ළඟා වීම සඳහා කිලෝමීටර් 104.3 ක දුර ප්‍රමාණයක් ධාවනයේ යෙදීමට තරඟකරුවන්ට සිදු විය. අදියර පහක් යටතේ දර්ශනීය මාර්ග ඔස්සේ ගමන් කෙරෙන මෙම පාපැදි සවාරිය ලබන මාර්තු 07 වැනිදා යාපනයේදී නිමාවට පත් වීමට නියමිත බව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

ගුවන් හමුදා කාන්තා තරඟාවලිය මාර්තු 07 වැනිදා මාන්කුලම්හිදී ආරම්භ වන අතර, කිලෝමීටර් 97 ක පමණ අභියෝගාත්මක දුරක් ආවරණය කරමින් යාපනයෙන් අවසන් වනු ඇත. 25 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය, එළඹෙන මාර්තු 07 වැනිදා යාපනයේ පැවැත්වීමට නියමිත උත්කර්ෂවත් ත්‍යාග ප්‍රදානෝත්සවයකින් සමාප්ත වනු ඇත.