TRINEX - 24 නාවික අභ්‍යාසය නැගෙනහිර මුහුදේ දී ඇරඹේ

මාර්තු 05, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන "ත්‍රිකුණාමල නාවික අභ්‍යාසය (TRINEX) - 24" ඊයේ (මාර්තු 04) ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේදී ආරම්භ වීමෙන් පසු අද එහි දෙවන දිනයට පිවිසීය. නාවික හමුදා මාධ්‍ය පවසන පරිදි මෙම පුහුණු අභ්‍යාසය නාවික හමුදාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කර ගෙන පත්වනු ලබයි.

ප්‍රධාන අදියර දෙකකින් සමන්විත මෙම නාවික අභ්‍යාසය වරාය අදියර සහ මුහුදු අදියර වශයෙන් ත්‍රිකුණාමලය වරායේ සහ නැගෙනහිර මුහුදේ පවත්වනු ලබයි. ගජබාහු, සයුරළ, පරාක්‍රමබාහු, නන්දිමිත්‍ර, සමුදුර, ශක්ති, රණරිසි සහ ප්‍රතාප යන නාවික නෞකා සහ 4 වැනි වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ වේග ප්‍රහාරක යාත්‍රාවන් හි සහභාගිත්වයෙන් අද සිට සිකුරාදා (මාර්තු 08) දක්වා නැගෙනහිර මුහුදේ මුහුදු අදියර පැවැත්වේ. බෙල් 412, බෙල් 212 සහ එම්අයි 17 හෙලිකොප්ටර් යානා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානාද මෙම අභ්‍යාසයට සහභාගී වන බව එහි සඳහන් වේ.

මාර්තු 04 දින නාවික හමුදා තටාකාංගණයේදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ප්‍රධානත්වයෙන් ආරම්භ වූ TRINEX නාවික අභ්‍යාසය මාර්තු 08 වැනිදා දක්වා පැවැත්වේ.