දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ
මෙහෙයුම් කමිටු රැස්වීම - 2024 කොළඹ දී

මාර්තු 06, 2024

යූරෝපා සංගම‍යේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන, දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම [Third Indo Pacific Regional Information Sharing (IORIS) Steering Committee Meeting (SCM) ] – 2024, අද දින (2024 මාර්තු 05) කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

අද දින (2024 මාර්තු 05) සිට තෙදිනක් පුරා පැවැත්වෙන මෙම රැස්වීම සඳහා ඉන්දු ශාන්තිකර කලාපයේ සමුද්‍රීය නීතිය බලාත්මක කිරීමේ ආයතන ඇතුළු ඉන්දු ශාන්තිකර කළාපීය රාජ්‍යයන් හා සංවිධාන පනස් හයකට (56) අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් නියෝජිතයින් එකසිය තිහකට (130) අධික පිරිසක් සහභාගීවන මෙම දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීමේ සම සභාපතීත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ CRIMARIO II ආයතනය විසින් දරනු ලබයි. මෙවර රැස්වීමේදී සමුද්‍රීය ආරක්‍ෂක තර්ජනයන්ට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සහ ධීවර කර්මාන්තයේ තිරසාරත්වයට අවශ්‍ය සහය ලබාදීම උදෙසා, තොරතුරු සම්බන්ධීකරණය සහ හුවමාරුව පහසු කිරීම සඳහා නිර්මාණය කර ඇති ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ පද්ධතියේ පාලනය ඒකාබද්ධ කිරීම සහ වැඩිදියුණු කිරීම පිළිබඳ පාර්ශ්වකරුවන් අතර අදහස්, අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීමට නියමිතව ඇත. එහිදී, ආරක්‍ෂිත සහ සුරක්‍ෂිත සමුද්‍රීය කලාපයක් වෙනුවෙන් සහයෝගීත්වය ශක්තිමත් කිරීමේ අරමුණින්, මෙම තොරතුරු හුවමාරු කිරීමේ පද්ධතියේ විධානය, පාලනය හා සන්නිවේදනය, දත්ත ගබඩා කිරීමේ ප්‍රතිපත්තිය සහ පරිශීලකයින්ගේ වගවීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මෙම රැස්වීමේ සමාරම්භක අවස්ථාවේ අදහස් දැක්වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, වෙනස් වන සමුද්‍රීය ආරක්‍ෂක උපාය මාර්ග හමුවේ සමුද්‍රීය රාජ්‍යයන් අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, සුරක්‍ෂිත සාගර කලාපයක් නිර්මාණය කිරීම උදෙසා සහ සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම සඳහා තොරතුරු හුවමාරු කිරීමේ සාමුහික ප්‍රවේශයක් ස්ථාපිත කිරීම අවශ්‍ය බවත්, මෙම අරමුණ ළඟාකරගැනීම සඳහා සමුද්‍රීය රාජ්‍යයන් මෙම තොරතුරු හුවමාරු කරගැනීමේ පද්ධතිය හා සම්බන්දවීම අත්‍යාවශ්‍ය බවත්, ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ කමිටුවේ කාර්යය භාරය අගය කරන බවත් පවසන ලදි.

සමාරම්භක අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යූරෝපා සංගම් ප්‍රධානී Lars Bredal, මහතා (charge d’Affaires at the EU Delegation to Sri Lanka and Maldives) අදහස් දක්වමින් පවසා සිටියේ යූරෝපා සංගමය සහ ඉන්දු ශාන්තිකර කලාපීය රාජ්‍යයන් ගේ සමෘද්ධිය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් එකිනෙකා හට වගකීමක් පැවරෙන බවයි. මෙම සමාරම්භක අවස්ථාවේ අදහස් දැක්වූ CRIMARIO II ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ Martin Cauchi-Inglott මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටුවේ ක්‍රියාකාරීත්වය තුළින් මෙම තොරතුරු හුවමාරු පද්ධතියේ පරිශීලකයින් හට ඔවුන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ බව අවබෝධ විය යුතු බවයි.

තවද, දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීමේදී පාර්ශ්වකරුවන් අතර දැනුම හුවමාරු කරගැනීම සඳහ න්‍යායික හා ප්‍රායෝගික සැසි ගණනාවක් පැවැත්වීමට නියමිතව ඇත.

අනුග්‍රහය- www.navy.lk