ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරිගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම “Proposal for Sri Lanka Navy’s Strategy 2030 & Beyond” ගරු ජනාධිපති තුමා වෙත පිළිගැන්වේ

මාර්තු 06, 2024

2048 වර්ෂය වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීමේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැක්මට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සම්පාදිත “Proposal for Sri Lanka Navy’s Strategy 2030 & Beyond” නමැති ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි ගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එහි සම්පාදක මණ්ඩලයේ සහභාගීත්වයෙන්, ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත පිළිගැන්වීම, 2024 මාර්තු මස 01 වන දින ත්‍රීකුණාමලය, නාවික තඨාකාංගණයේ නාවික මැදුරේදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකාව 2048 වර්ෂය වන විට පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීමේ ගරු ජනාධිපති තුමාගේ දැක්මට අනුව, ආරක්ෂිත සහ සමෘද්ධිමත් සමුද්‍රීය අනාගතයක් කරා පැහැදිලි දැක්මකින් සහ පුළුල් උපාය මාර්ග සැලැස්මකින් මෙහෙයවනු ලබන පරිවර්තනීය ගමනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සූදානම සහ ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි ගමන් මඟ සකස් විය යුතු ආකාරය පිළිබඳ 2030 දක්වා වූ උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින්, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් ගේ සභාපතීත්වයෙන් යුත් සම්පාදක මණ්ඩලයක් පත් කෙරිණි.

එම සම්පාදක මණ්ඩලය විසින් වර්තමාන උපායමාර්ගික පරිසරය සහ දේශීය හා ගෝලීය යථාර්ථයන් හමුවේ ජාතික සමුද්‍රීය අභිප්‍රායන් ළඟා කර ගැනීම පිළිබඳ පුළුල් ලෙස විශ්ලේෂණය කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි උපායමාර්ගික ගමන් මඟ සකස් විය යුතු ආකාරය පිළිබදව “Proposal for Sri Lanka Navy’s Strategy 2030 & Beyond” මඟින් විද්‍යානුකූල පදනමකින් යුතුව කරුණු ඉදිරිපත් කරමින්, මෙම යෝජිත උපාය මාර්ගික සැලැස්ම සම්පාදනය කිරීම සිදු කෙරිණි. ඒ අනුව, එම සම්පාදක මණ්ඩලයේ සභාපති, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරීස් විසින් ගරු ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කිරීමක් මඟින් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව, එම යෝජිත සැලැස්ම ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම මෙලෙස නාවික හමුදාධිපති තුමන් විසින් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්‍ෂාව පිලිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වී සිටි අතර, නාවික හමුදා මූලස්ථානය සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාව සඳහා එක් වී සිටියහ.

අනුග්‍රහය- www.navy.lk