ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මාලදිවයින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

මාර්තු 06, 2024

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ (මාර්තු 05) මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් අබ්‍දුල් ලතීෆ් එරට ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී හමු විය.

මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ උප ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරල් ඊබ්‍රහිම් හිල්මි සහ මෙහෙයුම් සහ පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ජෙනරල් හසන් ෂාහිඩ් ද මෙම හමුවට සහභාගී විය.

මාලදිවයින් සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා වසර ගණනාවක් පුරා සමීප සබඳතාවක් ගොඩනඟා ගෙන ඇති බවත් මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ නිලධාරීන් සහ සොල්දාදුවන් පුහුණු කිරීමේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් දක්වන ලද දායකත්වය ඉතා උසස් කොට අගය කරන බවත් මෙහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා සදහන් කළේය. එමෙන්ම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් සතු උසස් ප්‍රමිතියෙන් යුත් පුහුණුව සහ වෘත්තීයභාවය පිළිබඳ එරට හමුදාවන්ගේ ඉහළ සැලකිල්ලක් ඇති බව ද වැඩිදුරටත් පැවසීය.

දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාතික ආරක්‍ෂක විශේෂ බළකායේ පුහුණුවීම් සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ලුතිනන් ජෙනරල් රහීම් විසින් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්ට සහ ශ්‍රී ලංකා රජයට සිය ස්තූතිය පුද කළේය.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා අදහස් දක්වමින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව MNDF සමඟ පවතින අන්‍යෝන්‍ය සබඳතාවන් ඉතා ඉහලින් අගය කරන බවත්, එම පුහුණුවීම් මගින් දෙපාර්ශ්වයේම හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථා සැලසීම පිළිබදව තමා කෘතඥපූර්වක වන බවත් ප්‍රකාශ කලේය. තවද දැනට පවතින ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම සහයෝගීතාවය වැඩි දියුණු කිරීම සඳහා නව ක්ෂේත්‍ර හඳුනා ගැනීම සම්බන්ධයෙන් ද අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උනන්දු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම ඉන්දියානු සාගර කලාපයේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව පවත්වා ගැනීමේ වැදගත්කම ද ඔහු යළිත් අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා සමඟින් ශ්‍රී ලංකා යුද හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් - පුහුණු මේජර් ජෙනරල් සුමිත් නන්දන, මාලදිවයින් විදේශ ලේකම් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ මැක්ස්වෙල් කීගල් මහතා, මෙරට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ විංග් කමාණ්ඩර් චමින්ද රණසිංහ, මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ පීඨාධිපති, ඒකාබද්ධ මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම හමුවට සහභාගී විය.