චීනයේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාල නියෝජ්‍ය ප්‍රධානී ආරක්ෂක ලේකම් හමුවෙයි

මාර්තු 07, 2024

මහජන චීන සමූහාණ්ඩුවේ  මධ්‍යම හමුදා කොමිසමේ  ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාල නියෝජ්‍ය ප්‍රධානී මේජර් ජෙනරල් Zhang Baoqun අද (මාර්තු 07) ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි  ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවිය.

චීන දූත පිරිස වෙත උණුසුම් පිළිගැනීමක් පිරිනැමූ ජෙනරල් ගුණරත්න ආරක්ෂක සහයෝගීතාව ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි චීනය විසින් මෙරටට ලබාදෙන  සහාය වෙනුවෙන් මේජර් ජෙනරල් Baoqun වෙත සිය  කෘතඥතාව පළ කළේය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින  දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කරමින් මේජර් ජෙනරල් Baoqun,   සියවස් ගණනාවක් පුරා එවක බුද්ධාගමේ මධ්‍යස්ථානයක් වූ මෙරටට,  සියවස් ගණනාවකට පෙර   චීන බෞද්ධ භික්ෂුවක් වන ෆාහියන් Faxian (Fa-Hien) හිමියන් ලක්දිවට පැමිණීම පිළිබඳව ද සිහිපත් කල අතර, දෙරටටම දිගුකාලීන ආර්ථික ප්‍රතිලාභයක් ලබා දුන් රබර්-සහල් ගිවිසුම ලෙසින් ද හැඳින්වෙන 1952 ලංකා-චීන වෙළඳ ගිවිසුම පිළිබඳව ද   සිහිපත් කළේය.

පවතින කලාපීය ආරක්ෂක අභියෝග පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව තුලින් සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ඒකාබද්ධ මුලපිරීම් සඳහා මාර්ග ගවේෂණය කිරීමට මෙම හමුව තුලින් මහගු අවස්ථාවක් සැලසින.

ශ්‍රී ලංකා රජය විසින් හමුදා සහයෝගීතාව පවත්වා ගැනීම වෙනුවෙන් ගන්නා උත්සාහයන් මේජර් ජෙනරල් Baoqun ගේ මහත් පැසසුමට ලක් වූ අතර  පවත්නා සම්බන්ධතාවන් සහ මිත්‍රත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළේය. ඉදිරියේදී ද ආරක්ෂක සහයෝගීතාව අඛණ්ඩව ලබාදීමට චීන රජය අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු විය. වැඩබලන අතිරේක ලේකම් (ආරක්ෂක) හර්ෂ විතානආරච්චි, හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ආරක්ෂක ලේකම්වරයා සමඟ මෙම සාකච්ඡාවට එක් විය.