උණුසුම් කාලගුණය පිලිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි:
මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයේ ඉහල යාමක්

මාර්තු 14, 2024

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මාර්තු 13 දින නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකියට අනුව අද (14) බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය, අවදානම් මට්ටමක් (ඇම්බර්) දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අධික උණුසුම් තත්වයන් යටතේ දිගුකාලයක් හිරු එලියට නිරාවරණය සහ අධික වෙහෙසකාරී ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම හේතුවෙන් තාප ප්‍රහාර (Heat Stroke) තත්වයන් පවා ඇති විය හැකි බව එහි දැක්වෙන අතර, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් දිවා කාලයේ එළිමහන් ස්ථාන වල යෙදෙන ක්‍රියාකාරකම් වලින් වැලකී ගෘහස්තව විවේකීව ගත කරන ලෙසත් එම නිවේදනය ඔස්සේ ජනතාවට දැනුම් දී සිටී.

තවද, වයෝවෘද්ධ පුද්ගලයන්ගේ සහ රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය පිලිබඳ නිරන්තරයෙන් විමසිලිමත් වීම වැදගත් වන අතර හිරු එලියට නිරාවරණව ඇති රථ වාහන තුළ ළමුන් තනියම රඳවා නොයන ලෙසත්, සුදු හෝ ලා පැහැති සැහැල්ලු  ඇඳුම් ඇඳීම ද සුදුසු බව කරන ලෙසත් වැඩිදුරටත් උපදෙස් දක්වා ඇත.