කර්නල් නලින් හේරත් ඉන්දියාවේ ආරක්‍ෂක සහ උපායමාර්ගික සමුළුව අමතයි

මාර්තු 21, 2024

ඉන්දියාවේ ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන අංශය සහ උසස් උපායමාර්ගික අධ්‍යයන මධ්‍යස්ථානය සමඟ එක්ව චීන විශ්ලේෂණ සහ උපායමාර්ග මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද 3 වැනි ආරක්‍ෂක සහ උපායමාර්ගික සමුළුව මාර්තු 18 සහ 19 දිනයන්හිදී ඉන්දියාවේ පූනේ සාවිත්‍රිබායි ෆුලේ විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් සහ වැඩබලන අධ්‍යක්‍ෂ (පර්යේෂණ) සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් නලින් හේරත් මෙම ආරක්‍ෂක සමුළුව අමතන ලදි. කලාපීය ආරක්‍ෂාව සහ භූ දේශපාලන ගතිකත්වය පිළිබඳ ඉන්දියාවේ ආරක්‍ෂක අවශ්‍යතාවන් පිළිබඳව ශ්‍රී ලංකාව දැනුවත්ව සිටින බවත්, නාවික නිදහස තහවුරු කරමින් නොබැඳි විදේශ ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වන ජනාධිපතිවරයාගේ කැපවීම සහ ගෝලීය බල එදිරිවාදිකම්වලදී ශ්‍රී ලංකාවේ නොබැඳි ප්‍රතිපත්තිය පිළිබඳව ද සිය දේශනයේදී කර්නල් හේරත් අවධාරණය කළේය.

මෙම දෙදින සමුළුව ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් අනිල් චෞහාන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි. ජයදේව් රණාදේ, නිතින් ගෝඛලේ එයාර් මාර්ෂල් එස් එස් සෝමන් (විශ්‍රාමික), ගෲප් කැප්ටන් අජේ ලේලෙ, එන් සී බිපින්ද්‍ර, ආචාර්ය කිරන් කර්නික්, නම්රතා හසිජා, ආචාර්ය ඇල්වයිට් නින්ග්තවුජම්, එයාර් මාර්ෂල් භූෂන් ගෝඛලේ, එයාර් වයිස් මාර්ෂල් මන්මෝහන් බහදූර් (විශ්‍රාමික), ලුතිනන් ජෙනරල් ආර් පී කලිතා, වයිස් අද්මිරාල් අනුප් සිංහාන්ද් සහ රාජතාන්ත්‍රික ගෞතම් බම්බවාලේ ඇතුළු විශිෂ්ට කථික මණ්ඩලයක් මෙම සැසිවාරයේදී විවිධ මාතෘකා යටතේ සිය දේශන ඉදිරිපත් කරන ලදි.