ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල
ශිෂ්‍ය නිලධාරීන් අමතයි

මාර්තු 21, 2024

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පසුගිය බදාදා (මාර්තු 20) දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලීය ශිෂ්‍ය නිලධාරීන් අමතනු ලැබීය.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගු විසින් සිදු කල ආරාධනයකට අනුව එම විද්‍යාලය වෙත පැමිණි රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්, ‘ශ්‍රී ලංකාවේ කාලීන ජාතික ආරක්‍ෂක අභියෝග සහ ත්‍රිවිධ හමුදාව වඩාත් හොඳින් ව්‍යුහගත කර සූදානම් කිරීම’ යන මාතෘකාව ඔස්සේ මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 18 හි ශිෂ්‍ය නිලධාරීන් දැනුවත් කරමින් ආරාධිත දේශනයක් පවත්වනු ලැබීය.

ආරක්‍ෂක මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා ව්‍යුහය තුල අතිශය වැදගත් අංගයක් ලෙස සලකනු ලබන 'Diners Club' අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් පවත්වනු ලැබූ මෙම දේශනය එකී මාතෘකාව පිළිබඳ ඔහුගේ තීක්ෂණ බුද්ධිය සහ පෘථුල දැනුම ප්‍රකට කළ අතර එය රැස්ව සිටි කාගේත් අවධානය දිනා ගැනීමට ද සමත් විය.

දේශනයෙන් අනතුරුව, රාජ්‍ය අමාත්‍යවරයා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශකවරුන් සහ විදේශීය ශිෂ්‍ය නිලධාරීන් ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් සමඟ සුහද කතා බහක නිරත වෙමින් ඔවුන් සමඟ සිය අදහස් හුවමාරු කර ගත්තේය.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු නිලධාරීන් මෙන්ම ශිෂ්‍ය නිලධාරීන්ගේ භාර්යාවන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.