රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කරනවා - ආරක්‍ෂක ලේකම්

මාර්තු 21, 2024

ආබාධිත රණවිරුවන්හට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම සහ ඔවුන්ගේ කලත්‍රයන්ගේ ජීවිත කාලය පුරාවටම වැටුප් ගෙවීමට තීරණය කිරීම සහ රණවිරුවන් සහ ආබාධිත රණවිරුවන්ගේ වැටුප් සම්බන්ධ ගැටලු මඟහරවා ගැනීමට පියවර ගැනීම ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් වෙනුවෙන් ගත් සුබසාධන වැඩසටහන් අතර වැදගත් තීරණයකි. අද (මාර්තු  21) කොළඹ ටවර් හෝල් රඟහලේදී රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් අමතමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පැවසීය.
 
රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ රණවිරුවන්ගේ කැපකිරීම් අපටත් අනාගත පරපුරටත් සාමකාමී ජීවිතයක් උදාකර දුන් බවත්, ඔවුන්ටත් ඔවුන්ගේ පවුල්වල අයටත් ඒ වෙනුවෙන් අප  කෘතඥ විය යුතු බවත්ය. රණවිරු සේවා අධිකාරිය පිහිටුවන ලද්දේ රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සහතික කිරීම සඳහා වන පනතක් මගිනි.
 
රණවිරු පවුල් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන සහ ව්‍යවසායක උපදෙස් ලබාදීමේ අරමුණින් රණවිරු සේවා අධිකාරියේ සුභසාධන වැඩසටහනේ කොටසක් ලෙස මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත.
 
මාලන් දාබරේ සහ ඩබ්ලිව් එම් ටී අයි විජේවර්ධන යන ව්‍යවසායකයින් සමඟින් කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු විසින් විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන සහ අපනයනය, ආහාර විජලනය කිරීම සහ දේශීය හා විදේශීය වෙළඳපොළට සැපයීම මෙන්ම කුඩා ව්‍යවසායන් පිළිබඳව වටිනා දේශන පවත්වන ලදි.
 
මෙම අවස්ථාවට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ (විශ්‍රාමික) විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදි.
 
ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රණවිරු සේවා අධිකාරිය ආබාධිත රණවිරුවන්ගේ සහ ක්‍රියාන්විතයේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වල මානසික හා සාමාජීය ස්ථාවරභාවය  සහතික කරයි.  ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ තුවාල ලැබූ සහ ආබාධිත සාමාජිකයින්ගේ පසු රැකවරණය සහ පුනරුත්ථාපනය, කෘත්‍රීම අත් පා, රෝද පුටු, ඇස් කණ්ණාඩි හෝ ශ්‍රවණාධාර සැපයීම මෙන්ම නිවාස, ඉඩම්, මූල්‍ය ආධාර, සහනදායී ණය ලබා දීම, අවශ්‍යතා ඇති අය සඳහා තාක්ෂණික දැනුම ලබා දීම වැනි  ව්‍යාපෘති රණවිරු සේවා අධිකාරිය විසින් මෙහෙයවනු ලබයි.
 
ත්‍රිවිධ හමුදාපතිවරුන්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය සභාපති, ප්‍රාදේශීය නියෝජිතයින් මෙන්ම රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.