සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු ශිල්පීය දායකත්වයෙන් ඉදිකළ
නාමිණිඔය ශ්‍රීමත් මොන්ටි ගොපල්ලව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ
අභිනව දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට

මාර්තු 25, 2024

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ඉල්ලීමකට අනුව, මධ්‍යම පළාත් සභාවේ රුපියල් මිලියන 7.6 ක අරමුදල් මඟින් මප/විල්/නාමිණිඔය ශ්‍රීමත් මොන්ටි ගොපල්ලව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල 2024 මාර්තු මස 25 වන දින සුභ මොහොතින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ සුරතින් විවෘත කර සිසු අයිතියට පත් කෙරිණ.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ මග පෙන්වීම යටතේ, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විලගේ පූර්ණ අධීක්‍ෂණයෙන් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් මෙම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.

ඒ අනුව, මෙමඟින් නාමිණිඔය ප්‍රාථමික විදුහල් දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මනා පිටුවහලක් ලැබෙනු ඇත.

ගෞරවනීය මහා සංඝරත්නය, මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා, නාමිණිඔය ශ්‍රීමත් මොන්ටි ගොපල්ලව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති අයි. ජී. ආරියසිංහ මහතා ඇතුළු ගුරු මණ්ඩලය, පාසල් දු දරුවන් සහ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවිය.