රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික අධිකාරිය මගින් පවත්වනු ලැබු වැඩසටහනට ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වෙයි

මාර්තු 26, 2024

විනාශකාරී ආයුධ ව්‍යාප්තිය වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම පිළිබඳ, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික අධිකාරිය විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීම සදහා පවත්වනු ලැබූ වැඩසටහනක් අද (මාර්තු 26) ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ඇමරිකා එක්සත් ජනපද සිවිල් පර්යේෂණ සංවර්ධන පදනමේ (CRDF) රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක සහ න්‍යෂ්ටික (CBRN) අවදානම් අවම කිරීම පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය රොහාන් පී. පෙරේරා විසින් වැඩසටහනේ ආරාධිත දේශනය පැවැත් වූ අතර, මේ සදහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහ එම විෂය ක්ෂේත්‍රයට අදාළ ආයතනවල උසස් නිලධාරීන් ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

සමාරම්භක දේශනය පවත්වමින් රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් (ආචාර්ය) රවී රණසිංහ මෑතකාලීනව ශ්‍රී ලංකාවේ රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත සිද්ධීන්හි කැපී පෙනෙන වර්ධනයක් ඇති වී තිබෙන බව ඉස්මතු කළ අතර, හෝමාගම ජල පිරිපහදු රසායනික ද්‍රව්‍ය ගබඩාවේ ඇති වූ ගින්න සහ කඳාන රසායනික කම්හලේ ඇති වූ ගින්න වැනි සිදුවීම් නිදසුන් ලෙස දක්වමින් එය තවදුරටත් පැහැදිලි කලේය.

තවද, ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජාතික ආරක්‍ෂාව සදහා වන රසායන ද්‍රව්‍ය සම්බන්ධ පනත සහ රසායන ද්‍රව්‍ය පිළිබඳ අධීක්ෂණය සහ නියාමනය සදහා වන මාර්ගගත පද්ධතිය  සැකසීමට රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික අධිකාරිය විසින් ගෙන ඇති පියවරයන්හී වත්මන් ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී ඔහු පිරිස දැනුවත් කළේය.

ආරාධිත දේශනය අතරතුර ආචාර්ය රොහාන් පී. පෙරේරා මහතා විසින් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ගෝලීය වශයෙන් විනාශකාරී ආයුධ ව්‍යාප්තිය වැළැක්වීමේ අතිශය වැදගත් අවශ්‍යතාවය පිළිබඳව විස්තර කළේය. මේ සදහා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ නැගීසිටීම සහ ගෝලීයකරණය වීමත් සමඟ එවැනි ආයුධ වෙළඳාම හේතුවෙන්, මෙම ද්විත්ව-භාවිත අයිතම වැරදි අතට පත්වීමේ අවදානම ඉහළ ගොස් ඇති බවත්, ඒවායේ ව්‍යාප්තියට එරෙහිව ශක්තිමත් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයත් අවධාරණය කළේය.

මෙම ක්‍රියාමාර්ග අතර, ප්‍රමිතීන් නංවාලීම සහ වඩාත් ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අදාළ බලධාරීන් සහ වෙළඳ පාලන බලය සහිත ආයතන විසින් රසායනික ද්‍රව්‍ය භාවිතා කරන කර්මාන්තකරුවන් හදුනාගැනීම සහ එවැනි භාවිත නියාමන ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.

වැඩසටහන සඳහා මහජන ආරක්ශාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, යුධ සහ ගුවන් හමුදාපතිවරුන්, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ Sarah Welsh මෙනෙවිය ඇතුළු කැපී පෙනෙන ආරාධිත පිරිසක් සහභාගි විය.