ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ආතර් සී ක්ලාක් ආයතනය
අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

මාර්තු 27, 2024

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය (ACCIMT) අතර තාක්‍ෂණික උපදේශන සහ සහයෝගීතාව, පුහුණුව, දත්ත හුවමාරුව, ඒකාබද්ධ පර්යේෂණ සහ සංවර්ධන සහයෝගීතාව සහ සම්පත් ලබා ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කරනු ලැබිය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ ACCIMT හි අධ්‍යක්ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු. (ආචාර්ය) සනත් පනාවැන්නගේ සහභාගිත්වයෙන් පසුගිය සඳුදා (මාර්තු 25) මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදු කල බව ගුවන් හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

මෙම හවුල්කාරිත්වය ඔස්සේ නුතන ලෝකයේ ශීඝ්‍රයෙන් දියුණු වන අභ්‍යවකාශ තාක්‍ෂණය, ඩ්‍රෝන යානා සහ නියමුවන් රහිත ගුවන් යානා යන ක්ෂේත්‍ර වල පර්යේෂණ හා වැඩි දියුණු කිරීම මෙන්ම එමගින් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්යභාරය වඩාත් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමේදී එම භාවිතයන් යොදා ගත හැකි ආකාර පිලිබඳ සොයා බැලීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ද මාධ්‍ය වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.