ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ අභිනව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට

මාර්තු 27, 2024

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන්ගේ විශේෂඥ දැනුමෙන් සහ ශ්‍රම දායකත්වයෙන්, කොටපොල ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල පසුගිය සඳුදා (මාර්තු 25) පැවති චාම් උත්සවයකින් අනතුරුව එම පාසලේ බලධාරීන් වෙත භාර දීම සිදු කෙරිණ. ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැතිතුමා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ බව යුද්ධ හමුදා මාධ්‍ය අංශය වාර්තා කරයි.

විදුහල්පතිතුමා ඇතුළු පාසල් බලධාරීන් විසින් සිදු කල ඉල්ලීමකට අනුව, යුද්ධ හමුදාධිපතිගේ උපදෙස් මත 12 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු නිලධාරීන් සහ භට පිරිස් විසින් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. තවද, කොළඹ රාජකීය විද්‍යාලීය 1981 වර්ෂ ආදි ශිෂ්‍ය සංගම් කණ්ඩායම විසින් ව්‍යාපෘතිය සඳහා මුල්‍ය අනුග්‍රහය සහ නොමසුරු සහයෝගය දැක්වූ බවද පසුගිය වසරේ (2023) ජුනි මාසයේදී එහි වැඩ කටයුතු ආරම්භ වූ බවද මාධ්‍ය වාර්තාවේ දැක්වේ.

සාගල රත්නායක මැතිතුමා විසින් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන්, නව ගොඩනැගිල්ල විවෘත කිරීම සංකේතවත් කළ බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන, අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල, 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්,සෙසු නිලයින් සහ පරිත්‍යාගශීලීන් මෙන්ම එම පාසලේ විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් පිරිසක් ද මෙම උත්සව අවස්ථාවට එක්ව සිටියහ.