ඉන්දියන් සාගර කලාපයේ සමුද්‍රීය පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ
දෙදින වැඩසටහන කොළඹදී සාර්ථකව නිම වෙයි

මාර්තු 28, 2024

ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රී පාර්ශවකරුවන්ගේ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹදී පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සංවිධානය කරනු ලැබූ මෙම දෙදින වැඩසටහන පසුගිය අඟහරුවාදා (මාර්තු 26) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වූ බව නාවික හමුදා මාධ්‍ය අංශය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු MIZUKOSHI Hideaki මැතිතුමා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මෙම වැඩසටහනේ ආරාධිතයින් ලෙස සහභාගී වූ බව එහි සඳහන් වේ.

"Charting Unruly Waters: Enhancing Maritime Domain Awareness In The Indian Ocean Region" යන තේමාව යටතේ පැවති මෙම වැඩසටහනට දෙස් විදෙස් විශේෂඥයින් බොහෝ දෙනෙකු සහභාගී වී සිටියහ.

තවද, කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයෙහි ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී Siri Bjune මහත්මිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් ද සහභාගී වූ බව මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.