උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදන මධ්‍යයේ ඉදිරියේදී
ඇති විය හැකි වර්ෂාව පිළිබඳව ද පුරෝකථනය කෙරේ

මාර්තු 28, 2024

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මාර්තු 28) උදෑසන නිකුත් කරන ලද නවතම අනාවැකියට අනුව, බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

නැගෙනහිර පළාතේ විටින් විට වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

මේ අතර, එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල තාප දර්ශක නිවේදනයකට අනුව, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම, වවුනියාව මුලතිව් සහ ගාල්ල දිස්ත්‍රික්ක වල ඇතැම් ප්‍රදේශවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවදානම් මට්ටමක්’ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව දක්වා ඇත. ඒ හේතුවෙන් අධික ලෙස හිරු එලියට නිරාවරණය වීමෙන් සහ අධික වෙහෙසකාරී එළිමහන් ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් වැලකි ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් ගෘහස්ථව විවේකීව ගත කරන ලෙසත් එම නිවේදනය ඔස්සේ ජනතාවට වෙත දැනුම් දී සිටී.

මඩකලපුව සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි අතර, සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේදී මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.