ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති
වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට

මාර්තු 28, 2024

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති අතිගරු Jean-François Pactet මැතිතුමා පසුගියදා (මාර්තු 25) මාතර, මිරිස්ස හි පිහිටි ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණි බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය වාර්තා කරයි.

වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පූජිත විතාන විසින් ප්‍රංශ තානාපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව තානාපතිවරයා දැනුවත් කළේය. දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් නාවික සහයෝගීතාවයක් ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී ඔවුන් දෙදෙනා සාකච්ඡා කළ බව එහි සඳහන් වේ.

වෙරළාරක්‍ෂක බළකා ජීවිතාරක්‍ෂක නිලධාරීන් විසින් ජීවිතාරක්‍ෂක අභ්‍යාසයක් සිදුකරන ආකාරය තානාපතිවරයා ඉදිරියේ නිදර්ශනය කරන ලද අතර, ඉන් පසු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කෙරෙන කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය නැරඹීමට ද සහභාගී විය. එහිදී ඔහු කැස්බෑ පැටවුන් නිරීක්‍ෂණය කළ අතර, වටිනා සාගර ජීවීන් සංරක්‍ෂණය කරගැනීම සඳහා වෙරළාරක්‍ෂක බලකායේ කැපවීම සහ ඔවුන් විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳව අගය කළේය.

මෙම අවස්ථාවට වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් කොමදෝරු වයි.ආර්. සේරසිංහ ද සහභාගී විය.