ශ්‍රී ලංකා යුධ හමුදාව සහ යාපනය ශික්‍ෂණ රෝහල එක්ව නොමිලේ
ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම කඳවුරක් පවත්වයි

අප්‍රේල් 03, 2024

ශ්‍රී ලංකා යුද හමුදාවේ 56 වන පාබල සේනාංකය විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශවල සංවිධානය කරන ලද වෛද්‍ය කඳවුරු වලදී පරීක්‍ෂාවට ලක් වූ සහ හඳුනාගත් රෝගීන් සඳහා ඇසේ සුද ඉවත් කිරීමේ විශේෂ ශල්‍යකර්ම වැඩසටහනක් යාපනය ශික්‍ෂණ රෝහලේදී පසුගියදා පවත්වන ලදි.

ඒ අනුව යාපනය ශික්‍ෂණ රෝහලේ අක්ෂි රෝග ඒකකයේ වෛද්‍ය මලරවන් මහතා, වෛද්‍ය තිලීපන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, පලාලි යුද හමුදා මූලික රෝහල කාර්ය මණ්ඩලය හා එක්ව මුලතිව් ප්‍රදේශයේ රෝගීන් 87 දෙනෙකුගේ සහ යාපනය ප්‍රදේශයේ රෝගීන් 28 දෙනෙකුගේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සාර්ථකව සිදු කරන ලද බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි, යාපනය ශික්‍ෂණ රෝහලේ අක්ෂි රෝග ඒකකයට ගොස් මෙම වැඩසටහනේ ප්‍රගතිය පෞද්ගලිකව අධීක්‍ෂණය කළේය.