තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්යය සාධක බලකායේ ලාංඡනය
එළිදැක්වීම, සේවය ඇගයීම සහ ඉදිරි දැක්ම

අප්‍රේල් 03, 2024

මෙරට තැනැත්තන් වෙළදාම තුරන් කිරීම සඳහා කැපී පෙනෙන කාර්යභාරයක් සිදුකරනු ලබන, තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්යය සාධක බලකාය ඒ සඳහා වන සිය අනන්‍යතාවය සහ කැපවීම ශක්තිමත් කිරීමේ අරමුණින් අද (අප්‍රේල් 03) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී එහි සියලු පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පවත්වන ලදි.

මෙහිදී ආරක්‍ෂක ලේකම් සහ කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න විසින් එම කාර්ය සාධක බලකායේ නිල ලාංඡනය එළිදැක්වීමේ ඓතිහාසික මොහොතින් සාකච්ඡාව ආරම්භ විය. නව ලාංඡනය මගින් තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්යය සාධක බලකාය තැනැත්තන් වෙළදාමට එරෙහිව සිදුකරන නොනවතින සටන සහ ඉන් අවධානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්‍ෂා කිරීමේ සාමූහික අධිෂ්ඨානය සංකේතවත් කරයි.

ඉන් අනතුරුව, සාකච්ඡාව පුළුල් සංවාදයක් සහ උපායමාර්ගික සැලසුම් සඳහා වේදිකාවක් බවට පරිවර්තනය විය. මෙහිදී තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්යය සාධක බලකාය දැනට මුහුණ දී ඇති දැඩි අභියෝග පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, 2022 සහ 2023 වසර සඳහා වූ තැනැත්තන් වෙ‍ළදාම පිළිබඳ ගෝලීය වාර්තාවේ 2 වන ස්ථරය දක්වා ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඉහළ නැංවීමට ඉවහල් වූ කාර්ය සාධක බලකා සාමාජිකයන්ගේ විශිෂ්ට දායකත්වය ඇගයීමද සිදුකෙරිණ. කාර්ය සාධක බලකාය තුළ වූ විවිධ කේන්ද්‍රස්ථානයන්හි කැපවීමෙන් වැඩ කිරීම, ඒ සඳහා දක්වන උනන්දුව සහ ඔවුන් විසින් සිදුකරන ලද සැලකිය යුතු බලපෑම අගයමින් ඔවුන් වෙත මෙම ප්‍රශංසා ලිපි බෙදා දෙන ලදි.

නව ලාංඡනය එළිදැක්වීමෙන් සහ සාමාජිකයන්ගේ අමිල දායකත්වය ඇගයීමෙන් සටහන් වූ මෙම සාකච්ඡාව, මෙතෙක් සිදුකල මෙහෙවර පුනරාවර්ජනය කිරීම සහ ඉදිරි දැක්ම පිළිබඳ විමසීම යන අරමුණු දෙකම සාක්ෂාත් කර ගැනීමට හැකි වූ දිනයක් ලෙස සනිටුහන් විය.තැනැත්තන් වෙළදාමට එරෙහිව සටන් කිරීමට සහ මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්යය සාධක බලකායෙහි කැපවීම මේ තුලින් යළි යළිත් අවධාරණය කරනු ලබයි. නව ලාංඡනය එළිදැක්වීම තුලින්, මෙම බලකාය අනාගත ප්‍රයත්නයන් වෙත එළඹීමේදී ඒ සඳහා වඩාත් අවශ්‍යතා ඇත්තවුන්ගේ ජීවිතවල ප්‍රත්‍යක්‍ෂ වෙනසක් ඇති කිරීම සඳහා අවශ්‍ය කෙරෙන සහයෝගී දැක්ම සහ සාමූහික ප්‍රයත්නයන් පිළිබඳ නිරන්තරයෙන් සිහිපත් කෙරෙනු ඇත.