ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් නාවික හමුදාව
කළුතරදී පුහුණු වැඩමුළුවක් පවත්වයි

අප්‍රේල් 04, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කළුතර ප්‍රදේශයේ ආපදා කළමනාකරණ ඒකකයට අනුබද්ධ සාමාජිකයින්ගේ ආපදා පෙර සූදානම ඉහළ නැංවීමේ අරමුණින් පසුගියදා කළුතර වෙරළ තීරයේදී පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී. එහිදී කළුතර ප්‍රදේශයේ නාවික හමුදා ක්‍ෂණික යාත්‍රා බලඝණයේ පසු පුහුණු අංශය සහ කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් ආපදා කළමණාකරණය, මූලික ප්‍රථමාධාර සහ ජීවිතාරක්‍ෂක කටයුතු පිළිබද ප්‍රයෝගික පුහුණුවක් මෙහිදී ලබා දුන් බව නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

මාර්තු මස 19 සිට 29 දක්වා පැවති මෙම පුහුණු වැඩසටහන සදහා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි සාමාජිකයින් සහභාගී වූ අතර, හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය කෙරෙන පෙර සූදානම වැඩි කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කල බව එහි සඳහන් වේ.

තවත් මෙවැනිම මූලික ප්‍රථමාධාර සහ ජිවිතාරක්‍ෂාව පිලිබඳ පුහුණු වැඩමුළුවක් නාවික හමුදා ක්‍ෂණික යාත්‍රා බලඝණ පසු පුහුණු අංශයේ සහ කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් කළුතර, දොඩන්ගොඩ ප්‍රදේශයේ පවත්වන ලදී. මෙම වැඩසටහනේදී ද සහභාගි වුවන්ට මූලික ප්‍රථමාධාර සහ ජිවිතාරක්‍ෂාව පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබා දුන් බව එහි වැඩිදුරටත් සඳහන් වේ.