නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

අප්‍රේල් 08, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2024 අප්‍රේල් මස 06 වන දින නැගෙනහිර නාවික විධානයේ සංවිධායකත්වයෙන් ත්‍රිකුණාමලය මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නාවික හමුදා සමාජ සත්කාරක වැඩසටහන යටතේ, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ අධීක්‍ෂණයෙන් සහ ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ නාවික හමුදා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු මෙම ලේ දන්දීමේ වැඩසටහන, ත්‍රිකුණාමලය මහ රෝහලේ ලේ බැංකුවේ රුධිර සංචිත නිසි ලෙස පවත්වාගැනීමේ අරමුණෙන්, එම රෝහල වෙතින් සිදුකෙරුණු ඉල්ලීමකට අනුව සංවිධානය කෙරිණි.

තවද, මෙම උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකාංගන පරිශ්‍රයේ සියළුම නෞකා සහ ආයතනයන්ගේ නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය ලබා දෙන ලද අතර, ඒ සඳහා නැගෙනහිර විධාන නාවික රෝහලේ සහ ත්‍රිකුණාමලය මහ රෝහලේ රැධිර බැංකුවේ වෛද්‍ය කාර්යය මණ්ඩලය සහයෝගය ලබාදීම සිදු කෙරිණි.

අනුග්‍රහය - www.navy.lk