රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත මිලියන ගණනක් වටිනා
විද්‍යුත් යතුරුපැදි ප්‍රදානය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්

අප්‍රේල් 09, 2024
  • රණවිරු සේවා අධිකාරිය මගින් රු. මිලියන 17ක් වටිනා විදුලි යතුරුපැදි 50ක් රණවිරුවන්ට පිරිනමයි.

අප රටේ පැවති කුරුරි යුද්ධයෙන් මාතෘ භුමිය ගලවා ගැනීමට සටන් වැද රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට තම දෛනික කටයුතුවලට මුහුණදීමේදී සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා සහය දැක්වීමේ අරමුණින්, අද (අප්‍රේල් 9) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි, ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් විදුලි යතුරුපැදි 50 ක් බෙදා දෙන ලදි.

අද පෙරවරුවේ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත සපැමිණි ජනාධිපතිතුමා, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් පිළිගනු ලැබීය.

එමෙන්ම මහජන ආරක්‍ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මැතිතුමා, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රණවිරු සේවා අධිකාරියේ මුල්‍ය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක මෙම යතුරු පැදි ලබාදීමේ ව්‍යපෘතිය යටතේ ආබාධිත රණවිරුවන් කිහිප දෙනෙකුට ආරක්‍ෂක ලේකම්වරයාගේ ආරාධනයෙන් ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව විදුලි යතුරුපැදි ප්‍රධානය කිරීම සිදුකෙරිණි.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ අතිගරු ජනාධිපතිතුමන්, රණවිරුවන් අප රට වෙනුවෙන් කළ අසීමිත කැපකිරීම් සහ ඔවුන්ගේ පරාර්ථකාමී සේවය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ අතර, ආබාධිත රණවිරුවන් සඳහා තවත් විදුලි යතුරුපැදි 75ක් මිළදී ගැනීම සඳහා මුදල් වෙන් කරන බවත්, වෙනත් රටවල් හා සංසන්දනය කිරීමේදී ශ්‍රි ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය, රණවිරු සුබසාධනය වෙනුවෙන් ඉහළින්ම කැපවී සිටින බවත් ඔහු සඳහන් කළේය.

එම අවස්ථාවේ ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා, රණවිරුවන් සමඟ සුහද කථා බහක නිරත වෙමින් සිය අදහස් බෙදා ගැනීමටත්, ඔවුන්ගේ සෞඛ්‍ය සහ සුබසාධනය පිළිබඳ විමසීමටත් කටයුතු කළ අතර, රැස්ව සිටි ප්‍රථිලාභී රණවිරුවන් රණවිරු සේවා අධිකාරියේ මෙම සුබසාධන වැඩපිළිවෙල පිළිබඳව සිය කෘතඥතාව පළ කළහ.

එක් විදුලි යතුරුපැදියක වටිනාකම රුපියල් 337,000.00 ක් පමණක් වන අතර, රණවිරුවන් ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලදී මුහුණ දෙන අපහසුතා බොහොමයක් මෙම යතුරුපැදි භාවිතයෙන් මඟහරවා ගැනීමට හැකි වනු ඇති බවත්, විදුලි යතුරුපැදි ව්‍යාපෘතිය ඔස්සේ රණවිරුවන් දිරිගැන්වීම මගින් රණවිරු ප්‍රජාව අතර ව්‍යවසායකත්වය ඉහළ නැංවීමටද හැකි වනු ඇති බවටත් රණවිරු සේවා අධිකාරිය අපේක්‍ෂා කරයි.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ (විශ්‍රාමික) ඇතුළු රණවිරු සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.