ආරක්‍ෂක අමාත්‍යාංශයේ බක්මහ උළෙල ජනපතිගේ ප්‍රධානත්වයෙන්

අප්‍රේල් 10, 2024

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය - 2024, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (අප්‍රේල් 10) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණ පරිශ්‍රයේදී පැවැත්විණි.

සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර රැසකින් සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රධානතම උත්සවයක් වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අමාත්‍යාංශයේ සුබසාධන අංශයේ සංවිධායකත්වයෙන් සම්ප්‍රදායික ජන ක්‍රීඩා රැසක් ඇතුළත්ව සංවිධානය කළ ‘බක්මහ උලෙළ’ අද දින අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය.

මෙම අවස්ථාවට ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැතිතුමා, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වූහ.

සාම්ප්‍රදායික සිංහල සහ දෙමළ අලුත් අවුරුදු ක්‍රීඩා සඳහා නිශ්චිත වයස් කාණ්ඩ කිසිවක් නොමැති බැවින් අමාත්‍යාංශයේ සියලුම කාර්ය මණ්ඩලය ක්‍රීඩා සඳහා උද්යෝගිමත්ව සහභාගීවීම, මනා සංවිධානය, සම්බන්ධීකරණය සහ විනිසුරුවන්‌ගේ දායකත්වය ද උත්සවයේදී කැපී පෙනුණි.

උත්සවය සංස්කෘතික නැටුම් සහ සංගීත වැඩසටහන් වලින් විචිත්‍රවත් විය.

සාම්ප්‍රදායික සිංහල ඇඳුමින් සැරසී ආකර්ෂණීය ලෙස පෙනී සිටි තරුණ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඉමහත් උනන්දුවෙන් සහභාගී වූ අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තේරීමේ තරඟයද උත්සවය අලංකාරවත් කලේය.

දිනයේ ජයග්‍රාහකයින් වෙත වටිනා ත්‍යාග පිරිනැමීම ජනාධිපතිතුමන් සහ ආරක්‍ෂක ලේකම් ඇතුළු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදුකරන ලදි.